තරුණයන්ට කුඩා වයසින්ම ත්‍රිරෝද රථ රැකියාවට පිවිසීමට ඉඩ දිය යුතු ද නැද්ද යන්න පිළිබඳව පසුගියදා ඇති වූ මතභේදය සමාජය තුළ දැඩි කතාබහට ලක් විය. වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේගේ අදහස් දැක්වීමට හේතු වන්නට ඇත්තේ සැබෑ උනන්දුවක් බව පෙනේ. එනම්, රටට තාක්ෂණික කුසලතා සහිත ශ්‍රමිකයන් අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වී ඇති මොහොතක, විධිමත් පුහුණුවක් අත්‍යවශ්‍ය නොවන රැකියාවලට අධික තරුණයන් පිරිසක් යොමු වන්නේ ද යන්නයි.

එවැනි යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව කළ පැහැදිලි කිරීමත් සමග ක්ෂණිකව ඇති වූ මතභේදය අවසන් වන්නට ඇත. නමුත් එම මතභේදයෙන් වඩාත් වටිනා යමක් සිදු විය. එනම්, ඊටත් වඩා විශාල ජාතික ගැටලු‍වක් කරළියට පැමිණීමයි.

ශ්‍රී ලාංකික තරුණයකු හෝ තරුණියක පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාලයකට, තාක්ෂණික අධ්‍යාපනයකට, වෘත්තීය පුහුණුවකට හෝ වෙනත් පිළිගත් මාර්ගයකට යොමු නොවන්නේ නම් ඔවුන්ට සිදු වන්නේ කුමක්ද? ජාතික අවධානය යොමු විය යුතු ප්‍රශ්නය එයයි. ත්‍රිරෝද රථයක් පැදවීම යනු ගෞරවනීය ලෙස ජීවිකාව ගෙන යාමේ මාර්ගයකි. ත්‍රිරෝද රථ පදවන පුද්ගලයන්ට පරිභව කිරීම හෝ ඔවුන් පහත් රැකියාවක් තෝරාගෙන ඇති ලෙස සැලකීම නොකළ යුතුය. බොහෝ තරුණයන්ට සාපේක්ෂව අඩු ආරම්භක පිරිවැයකින් ක්ෂණික ආදායමක් ලබා ගැනීමට එය උපකාරී වේ.

ගැටලු‍ව පැනනගින්නේ, ප්‍රමාණවත් තරම් ආකර්ෂණීය, ප්‍රවේශ විය හැකි සහ පැහැදිලි විකල්ප මාර්ග ලබා දීමට රට අපොහොසත් වීම නිසා, මෙවැනි අඩු ප්‍රවේශ පිරිවැයක් සහිත රැකියාවක් පාසල් හැර යන විශාල පිරිසකගේ එකම තේරීම බවට පත්වන විටය. තරුණයකුට ත්‍රිරෝද රථයක් පැදවීම වැළැක්වුවද, ඔහුට හෝ ඇයට රැකියාවක්, පුහුණුවක්, මඟපෙන්වීමක් හෝ වෙනත් වෘත්තීය මාර්ගයක් නොමැති නම්, මූලික ගැටලු‍ව විසඳී නැත.

අවධානය යොමු විය යුතු පරස්පරතාවක්

ශ්‍රී ලංකාව කැපී පෙනෙන පරස්පරතාවකට මුහුණ දී සිටියි. එක් පසෙකින් තරුණයෝ රැකියා සොයති. අනෙක් පසින් රැකියා යෝජකයෝ කුසලතා සහිත තරුණයන් සොයති. පවතින දත්තවලට අනුව 2026 පළමු කාර්තුවේදී සමස්ත රැකියා විරහිතභාවය 3.7%ක් වූ අතර, වයස අවුරුදු 15-24 අතර තරුණයන්ගේ රැකියා විරහිතභාවය 16.1%ක් විය. තරුණයන් අතර එය 14.4%ක් වන විට තරුණියන් අතර එය 19.2%ක් විය. ඒ අතරම, පාස්සන්නන් (Welders),  විදුලි කාර්මිකයන්, යාන්ත්‍රිකයන්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්, කෘෂිකාර්මික තාක්ෂණික ශිල්පීන්, සාගරික ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් සහ වෙනත් තාක්ෂණික කුසලතා සහිත කාර්ය මණ්ඩලවල හිඟයකට රට මුහුණ දී සිටියි.

මෙය හුදෙක් රැකියා විරහිතභාවයේ ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය තරුණයන්ගේ අපේක්ෂා හා තේරීම් සහ ආර්ථිකයේ කුසලතා අවශ්‍යතා අතර පවතින නොගැළපීමකි. මඟහැරී ඇති එකම පුරුක වන්නේ මේ දෙක යා කරන නිසි ජාතික පද්ධතියක් නොමැති වීමයි.

සැබෑ ගැටලු‍ව ත්‍රිරෝද රථ රියදුරන්ගේ වයස නොව, ශ්‍රී ලංකාව සිය යෞවනයන්ට ලබා දෙන්නේ කුමක්ද යන්නයි

අවස්ථා පවතින්නේ කොහේ ද?

ශ්‍රී ලංකාව තුළ තරුණයන් සඳහා අවස්ථා හිඟ නැත. තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් සේවා, බැංකු සහ මූල්‍ය සේවා, සංචාරක සහ ආගන්තුක සත්කාර, ගොඩනැගිලි ඉදිකිරීම් සහ නිෂ්පාදන, නැව් නිෂ්පාදනය සහ අලු‍ත්වැඩියාව, සාගරික සේවා මෙන්ම විදේශ රැකියා යන සියල්ල විශාල අවස්ථා ලබා දෙයි.

ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තය මෙම පරස්පරතාව මැනවින් පැහැදිලි කරයි. මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද මානව සම්පත් ඇස්තමේන්තුවලට අනුව, වඩුවැඩ, මේසන් වැඩ, නළ කාර්මික, විදුලි කාර්මික, පාස්සන්නන්, යකඩ සැකසුම් සහ බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවන්නන් ඇතුළු රැකියාවල 2029 වන විට අතිරේකව 40,000ක පමණ ශ්‍රමික අවශ්‍යතාවක් පවතියි.

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි වසර තුන සඳහා වන මානව සම්පත් අවශ්‍යතාව කොන්ත්‍රාත්කරුවන්ගේ සමීක්ෂණ, වාණිජ මණ්ඩල සාකච්ඡා, වෘත්තීය පුහුණු දත්ත සහ ශ්‍රම ඉල්ලු‍මේ ප්‍රවණතා පදනම් කරගෙන පහත පරිදි ඇස්තමේන්තු කර ඇත. වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC)  මගින් 2029 වන විට මෙම හිඩැස පිරවීම සඳහා යම් ප්‍රගතිශීලී පියවරක් ගෙන තිබේද යන්න දැඩි ලෙස ප්‍රශ්නකාරී වේ. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මෙම කැපී පෙනෙන මන්දගාමී බව සහ සූදානමක් නොමැතිකම, රටේ මානව සම්පත් අවශ්‍යතාවලට මුහුණ දීමට ඇති සූදානම කෙබඳුදැයි මැනවින් කියාපායි.

(වගුව බලන්න)

ගොඩනැගිලි ඉදිකිරීම් ශ්‍රම බලකාය පිළිබඳ කෙරුණු තවත් කැපී පෙනෙන අධ්‍යයනයකින් හෙළි වන්නේ, රටේ මානව සම්පත් අවශ්‍යතාව හමුවේ දැනට සමස්ත අවශ්‍යතාවයෙන් සිටින්නේ මේසන්වරුන් 33%ක්, වඩුවන් 10%ක්, නළ කාර්මිකයන් සහ විදුලි කාර්මිකයන් 2%ක් පමණක් වන අතර, ඉතිරිය පුහුණු නොලැබූ ශ්‍රම බළකායකින් පියවන බැවින් පියවිය නොහැකි විශාල හිඩැසක් පවතින බවයි.

අද වන විට, පුහුණු ශ්‍රමිකයන් වැඩි වේතන සඳහා විදේශගත වීම, තරුණයන් වෘත්තීය රැකියාවලින් බැහැර වීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවලට සමාජීය පිළිගැනීමක් නොමැති වීම, අවිධිමත් පුහුණුව ප්‍රමුඛ වීම, විශාල යටිතල පහසුකම් සහ මහල් නිවාස ව්‍යාපෘති නිසා ඉල්ලු‍ම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ බොහෝ පළපුරුදු ශිල්පීන් වයස්ගත වීම වැනි නොයෙක් හේතු නිසා මෙම ශ්‍රම හිඟය තවත් උග්‍ර වී ඇත.

එසේ තිබියදීත්, සුදුසු දේශීය ශ්‍රමිකයන් සොයාගැනීමට අපහසු බැවින් මෙම ඇතැම් රැකියාවන් සඳහා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කර්මාන්ත ක්ෂේත්‍රය අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලාංකික තරුණයන් රැකියා විරහිතව හෝ අඩු ආදායම්ලාභී රැකියාවල නිරතව සිටිද්දී, රැකියා යෝජකයන් විදේශයන්ගෙන් පුහුණු ශ්‍රමිකයන් සෙවීම තුළ බරපතළ වරදක් පවතියි.

ඊට විසඳුම හුදෙක් විදේශ ශ්‍රමය ආනයනය කිරීම විය නොහැක. තරුණයන්ට ත්‍රිරෝද රථ නොපදවන ලෙස පැවසීමද ඊට විසඳුම නොවේ. විසඳුම වන්නේ පාසලෙන් කුසලතාවටත්, කුසලතාවෙන් රැකියාවටත්, රැකියාවෙන් ඵලදායී පෞරප්‍රජාවකටත් යොමු කෙරෙන විධිමත් ජාතික මාර්ගයක් සකස් කිරීමයි.

ත්‍රිරෝද රථ ගැටලු‍වේ අනෙක් පැත්ත

කෙසේ වෙතත්, මෙම මතභේදය තුළ සමාන අවධානයක් යොමු විය යුතු තවත් පැත්තක් තිබේ. ගැටලු‍ව වන්නේ කවුරුන් ත්‍රිරෝද රථයක් පදවනවා ද නැතහොත් කිනම් වයසකින් එය ආරම්භ කරනවා ද යන්න පමණක් නොවේ. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයම නියාමනය කරන්නේ සහ වෘත්තීය මට්ටමකට ගෙන එන්නේ කෙසේ ද යන්නයි.

දශක ගණනාවක් තිස්සේ ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන පද්ධතියේ නැතිවම බැරි කොටසක් බවට පත්ව තිබේ. එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයට හා වැදගත්කමට සරිලන පරිදි, එහි නිරත වන පිරිස සහ ඔවුන් ලබා දෙන සේවාවන් පාලනය වන සංගෘහිත වෘත්තීය රාමුවක් සකස් වී නොමැත. එම නිසා, සීරුවෙන් සිතා බලන ජාතික ප්‍රතිපත්තියක් මගින් මූලික ප්‍රශ්න කිහිපයක් විමසා බැලිය යුතුය.

ත්‍රිරෝද රථ රියැදුරෙකු වීමට පෙර පුද්ගලයකු ලබා ගත යුතු පුහුණුව කුමක් ද? වගකීම් සහගත රිය පැදවීම, මාර්ග ආරක්ෂාව, මගී සබඳතා සහ රථවාහන නීති අනිවාර්ය පුහුණුවට ඇතුළත් විය යුතු ද? ත්‍රිරෝද රථවල ධාවන යෝග්‍යතාව සහ නඩත්තුව සඳහා අදාළ විය යුතු ප්‍රමිතීන් මොනවා ද? මගී ගාස්තු තීරණය කිරීම සහ ප්‍රදර්ශනය කිරීම කළ යුත්තේ කෙසේ ද? මගී පැමිණිලි සහ අසම්පූර්ණ රිය පැදවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පවතින යාන්ත්‍රණය කුමක් ද? තදබල පුහුණුවීම් හෝ වරින් වර කෙරෙන නිපුණතා පරීක්ෂණ තිබිය යුතු ද?

මේවා හුදෙක් රියැදුරන්ට පමණක් අදාළ ප්‍රශ්න නොවේ. මෙම සේවාව මත යැපෙන මිලියන සංඛ්‍යාත මගීන්ගේ ආරක්ෂාව, පහසුව සහ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයි. මාර්ග රථවාහන, වාහන බලපත්‍ර සහ ධාවන යෝග්‍යතාවට අදාළ පවතින නීති රීති වැදගත් වන නමුත්, ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ විශාල ව්‍යාප්තියට හා ආර්ථික වැදගත්කමට සරිලන ලෙස නියාමනය සිදු වී තිබේද යන්නයි.

ජාතික ප්‍රවාහන පද්ධතියේ මෙතරම් අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව ඇති ක්ෂේත්‍රයක්, එහි වෘත්තීය ප්‍රමිතීන් අතින් බොහෝ දුරට අවිධිමත් මට්ටමක පැවැතිය යුතු නැත. එම නිසා, ඊට විසඳුම හුදෙක් තරුණයන් මෙම වෘත්තියට පිවිසීම උනන්දු නොකිරීම පමණක් නොවිය යුතුය. ත්‍රිරෝද රථ පැදවීම රැකියාවන් හිමිවන වැදගත් මාර්ගයක් සහ අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවාවක් නම්, එය වඩාත් වෘත්තීයමය මට්ටමේ රැකියාවක් බවට පරිවර්තනය කිරීමට රජය සහාය විය යුතුය.

නිසි ලෙස සැලසුම් කරන ලද රාමුවකට සුදුසු බලපත්‍ර සහ නිපුණතා අවශ්‍යතා, අනිවාර්ය මූලික පුහුණුව, මාර්ග ආරක්ෂණ අධ්‍යාපනය, වාහන ධාවන යෝග්‍යතා ප්‍රමිතීන්, පාරදෘශ්‍ය මගී ගාස්තු ක්‍රමවේද, රියදුරු හැඳුනුම්පත, පැමිණිලි විසඳීමේ යාන්ත්‍රණයක් සහ වරින් වර ලබා දෙන නැවුම් පුහුණු පාඨමාලා ඇතුළත් කළ හැකිය.

එමෙන්ම රියදුරන්ට ප්‍රවාහන කළමනාකරණය, ලොජිස්ටික්ස් (Logistics),  වාහන නඩත්තුව සහ වෙනත් සබඳිත තාක්ෂණික රැකියාවලට යොමු වීමටද එමගින් අවස්ථා නිර්මාණය කළ හැකිය. එම නිසා ත්‍රිරෝද රථය යනු තරුණයන් ඈත් කර තැබිය යුතු ගැටලු‍වක් ලෙස පමණක් නොසැලකිය යුතුය. එය වෘත්තීයමය තත්ත්වයට පත් කිරීම, නියාමනය කිරීම සහ උසස් කිරීම අවශ්‍ය වන දැනට පවතින ආර්ථික ක්ෂේත්‍රයක් ලෙසද දැකිය යුතුය. එමගින් පෙනෙන්නට ඇති බලපෑම අවස්ථාවක් බවට පත් කරගත හැකිය. එනම් වඩා හොඳින් පුහුණු වූ රියැදුරන්, වඩාත් ආරක්ෂිත වාහන, වඩාත් වගකීම් සහිත සේවාවක් සහ වඩාත් ගෞරවනීය රැකියාවක් නිර්මාණය වීමයි.

වෘත්තීය අධ්‍යාපනයේ සිට ජාතික කුසලතා ප්‍රතිපත්තියක් දක්වා

මෙය අපව වඩාත් විශාල ප්‍රශ්නය වෙත යොමු කරයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විවිධ ආයතන මගින් පිරිනමන තනි තනි පාඨමාලා එකතුවක් ලෙස පවතින සාම්ප්‍රදායික වෘත්තීය අධ්‍යාපන සංකල්පයෙන් ඔබ්බට යාමයි. අවශ්‍ය වන්නේ ආර්ථිකයේ සැබෑ සහ ඉදිරියට අපේක්ෂිත මානව සම්පත් අවශ්‍යතාවලට සමීපව සම්බන්ධ වූ ”‍යෞවනයන් සඳහා වන ජාතික කුසලතා ප්‍රතිපත්තියක්”‍ (National Skills Policy for Youth)  වේ. එවැනි ප්‍රතිපත්තියක් මගින් ජාතික හා පළාත් මට්ටමින් පහත දැක්වෙන කරුණු හඳුනා ගත යුතුය:

  • දැනට හිඟයක් පවතින රැකියා.
  • අනාගතයේ විශාල ඉල්ලු‍මක් පවතින රැකියා.
  • නැගී එන කර්මාන්ත.
  • ස්වයන් රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා.
  • විදේශ රැකියා සඳහා අවශ්‍ය කුසලතා.
  • ජාතික යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය කුසලතා; සහ
  • එම ඉල්ලු‍ම සපිරීමට අවශ්‍ය පුහුණු ධාරිතාව.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC),  ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA),  රැකියා යෝජකයන්, කර්මාන්ත මණ්ඩල, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යන සියල්ල එකමුතු වූ ජාතික කුසලතා-සැලසුම් යාන්ත්‍රණයකට ගෙන ආ යුතුය. ශ්‍රම වෙෙළඳපොළේ අවශ්‍යතාවලින් බැහැරව තරුණයන් පුහුණු කිරීම තවදුරටත් රටකට දැරිය නොහැක.

ජාතික කුසලතා සහ සේවා වැඩසටහනක් (NSSP)

වඩාත් අභිලාෂකාමී වැඩපිළිවෙළක් සඳහා මෙහි අවස්ථාවක් පවතියි. විශේෂයෙන්ම ද්විතීයික අධ්‍යාපනය නිම කර වහාම විශ්වවිද්‍යාල, තාක්ෂණික අධ්‍යාපන, වෘත්තීය පුහුණු හෝ ඵලදායී රැකියාවකට යොමු නොවන තරුණයන් වෙනුවෙන් ”‍ජාතික කුසලතා සහ සේවා වැඩසටහනක්”‍ (National Skills and Service program - NSSP)  පිහිටුවීමට ශ්‍රී ලංකාවට සිතා බැලිය හැකිය. මෙය වෙනත් රටක පවතින අනිවාර්ය හමුදා සේවයේ අනුකරණයක් නොවිය යුතුය. එය රටේ ආර්ථික, සමාජීය සහ සංවර්ධන අවශ්‍යතා මත පදනම් වූ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුතු වැඩසටහනක් විය යුතුය.

මාස නවයක සිට දොළහක් දක්වා වූ ව්‍යුහගත කාලසීමාවක් මගින් තරුණයන්ට ප්‍රායෝගික අත්දැකීම්, වෘත්තීය පුහුණුව, විනය, වගකීම සහ පිළිගත් සුදුසුකමක් ලබා දිය හැකිය. විශ්වවිද්‍යාල, තාක්ෂණික අධ්‍යාපන හෝ පිළිගත් වෘත්තීය පාඨමාලා සඳහා සෘජුවම යොමු වන අයට ඊට අදාළ අධ්‍යාපනික සහනයක් (Educational Deferment)  ලබා දිය හැකිය.

අරමුණ සරල විය යුතුය. කිසිදු තරුණයෙකු හෝ තරුණියක කුසලතා ලබාගැනීමට අර්ථවත් මාර්ගයක් ලබා නොදී පාසලෙන් ඉවත් වී රැකියා ලෝකයට පිවිසිය යුතු නැත.

වැඩසටහන මගින් ලබා දිය හැක්කේ මොනවා ද?

NSSP  වැඩසටහන මගින් හැකියාව, අධ්‍යාපනය, කායික යෝග්‍යතාව සහ ජාතික අවශ්‍යතාවලට අනුකූලව විවිධ මාර්ග ලබා දිය හැකිය. ඊට පහත දෑ ඇතුළත් විය හැකිය:

  • ත්‍රිවිධ හමුදාව, වෙරළාරක්ෂක බළකාය, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය.
  • ආපදා කළමනාකරණය, ගිනි නිවීම, ප්‍රථමාධාර සහ හදිසි ගලවාගැනීමේ සේවා.
  • වාරිමාර්ග, ජලාපවහන, ජල සම්පාදන සහ පොදු යටිතල පහසුකම් නඩත්තුව.
  • කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ පාරිසරික පුනරුත්ථාපනය.
  • රෝහල්, වැඩිහිටි රැකවරණය සහ ප්‍රජා සේවා.
  • ඩිජිටල්කරණය, සයිබර් ආරක්ෂාව, මිනුම් කටයුතු සහ ජාතික දත්ත රැස් කිරීම.
  • පෑස්සීම (Welding), නිෂ්පාදනය (Fabrication),  විදුලි කටයුතු සහ යන්ත්‍රෝපකරණ නඩත්තුව.
  • ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා.
  • නැව් නිෂ්පාදනය, සාගරික ඉංජිනේරු විද්‍යාව සහ වෙරළාශ්‍රිත සේවා. සහ
  • ජාතික මානව සම්පත් සැලසුම්කරණය හරහා හඳුනා ගන්නා වෙනත් රැකියා.

මෙහි ඇති වැදගත්ම ලක්ෂණය විය යුත්තේ ප්‍රායෝගික අත්දැකීම්ය. ඉංජිනේරු විද්‍යා ශිෂ්‍යයකුට යටිතල පහසුකම් ව්‍යාපෘතියකින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත හැකිය. තොරතුරු තාක්ෂණ පුහුණුවන්නකුට රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළකට දායක විය හැකිය. තාක්ෂණික ශිෂ්‍යයකුට සුදුසුකම් ලත් අධීක්ෂණය යටතේ කර්මාන්තශාලාවක, නැව්ංගනක හෝ නඩත්තු මධ්‍යස්ථානයක පුහුණුව ලැබිය හැකිය.

සාගරික ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන තරුණයකුට නැගී එන සාගරික ආර්ථිකයට අවශ්‍ය වන පාස්සන්නකු, යාන්ත්‍රිකයකු, බෝට්ටු නිෂ්පාදකයකු, සාගරික තාක්ෂණික ශිල්පියකු හෝ වෙනත් විශේෂඥයකු ලෙස පුහුණුව ලැබිය හැකිය. එවැනි පුහුණුවක් නාමික එකක් නොවිය යුතුය. එය NVQ  රාමුව හෝ ඊට සමාන වෘත්තීය සහතිකකරණයක් හරහා පිළිගත් සුදුසුකම් වෙත යොමු විය යුතුය.

එයට හිලව් ලෙස තරුණයාට ප්‍රත්‍යක්ෂ යමක් ලැබිය යුතුය. සුදුසු පරිදි ජීවන දීමනාවක්, අවශ්‍ය තැන්වලදී ආහාර සහ නවාතැන්, රක්ෂණ සහ සුභසාධන ආරක්ෂාව, පිළිගත් සහතිකකරණය, ප්‍රායෝගික වැඩ පළපුරුද්ද සහ අනාගත රැකියාවට උපකාරී වන නිපුණතා පිළිබඳ විධිමත් වාර්තාවක් ඒ අතර වේ.

NSSP  වැඩසටහන කිසි විටෙකත් ලාභ හෝ නොමිලේ ලබා ගන්නා ශ්‍රමයේ මූලාශ්‍රයක් බවට පත් නොවිය යුතුය. එය හුදෙක් අනිවාර්ය සේවා කාලයක් නොව, වෘත්තීය ගමන වේගවත් කරන්නක් (Career Accelerator)  විය යුතුය.

වෙනත් රටවලින් ඉගෙන ගැනීම. නමුත් ඒවා අන්ධ ලෙස අනුකරණය නොකිරීම

ශ්‍රී ලංකාව කිසිදු විදේශීය ආකෘතියක් අන්ධ ලෙස අනුකරණය නොකළ යුතු වුවද, රටවල් කිහිපයකින් වටිනා පාඩම් ලබා ගත හැකිය. සිංගප්පූරුවේ ජාතික සේවා පද්ධතිය (National Service)  තරුණ පරපුර අතර පොදු අත්දැකීමක් නිර්මාණය කර ඇති අතර ආරක්ෂාව, හදිසි ප්‍රතිචාර දැක්වීම් සහ සිවිල් ආරක්ෂණ කටයුතුවල හැකියාවන් වර්ධනය කර තිබේ. නමුත් සිංගප්පූරුවේ ආර්ථික පරිවර්තනය සිදු වූයේ අධ්‍යාපනය, කර්මාන්තකරණය, යටිතල පහසුකම්, ආයෝජන සහ විනයගරුක ආර්ථික කළමනාකරණය යන කරුණුවල විශාල සංයෝජනයක් නිසාය.

ෆින්ලන්තය සහ ස්වීඩනය පෙන්වා දෙන්නේ පුද්ගල හැකියාවන් සහ ජාතික අවශ්‍යතාවලට අනුකූලව ජාතික සේවයට විවිධ සේවා සහ පුහුණු ස්වරූප ඇතුළත් කළ හැකි බවයි. දකුණු කොරියාව මගින් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා, නිෂ්පාදන ක්ෂේත්‍රය, තාක්ෂණය සහ අපනයන සංවර්ධනය ජාතික ආර්ථික පරිවර්තනයට ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි නිරූපණය කරයි. මෙම උදාහරණවලින් අනිවාර්ය සේවයක් මගින් ඉබේම ආර්ථික සංවර්ධනයක් සිදුවන බව ඔප්පු නොවේ. ඒවායින් පෙන්නුම් කරන්නේ ඊට වඩා වැදගත් යමක් වේ.

ජාතියකට සිය තරුණ මානව සම්පත පැහැදිලිව නිර්වචනය කළ ජාතික ප්‍රමුඛතා වටා සැලසුම්සහගතව සංවිධානය කළ හැකිය යන්නයි. ශ්‍රී ලංකාව සිතා බැලිය යුතු පාඩම එයයි.

ත්‍රිරෝද රථය යනු සතුරා නොවේ. ත්‍රිරෝද රථයක් පැදවීමේ වරදක් නැත. එය අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවාවක් සපයන, පවුල් රැසකට ජීවනෝපාය සලසන නීත්‍යනුකූල රැකියාවකි. නමුත් රජය ඇසිය යුත්තේ වෙනස්ම ප්‍රශ්නයකි.

ආර්ථිකය පුහුණු ශ්‍රමිකයන් ඉල්ලා හඬ නඟද්දී, තරුණයකුට ත්‍රිරෝද රථය හෝ රැකියා විරහිතභාවය අතර තේරීමක් කිරීමට සිදු වන්නේ මන්ද?

තරුණයකු නිසි වෘත්තීය මඟපෙන්වීමක් ලබා තාක්ෂණික පුහුණුවට අවස්ථාව තිබියදී, ස්වේච්ඡාවෙන්ම ත්‍රිරෝද රථ රියදුරකු වීමට තෝරා ගන්නේ නම් එය ඔහුගේ පෞද්ගලික තේරීමයි. නමුත් පාසලෙන් අස් වූ පසු මුදල් ඉපයීමට ඇති එකම ක්ෂණික මාර්ගය එය නිසාම තරුණයකු එය තෝරා ගන්නේ නම්, ගැටලු‍ව ඇත්තේ තරුණයා අත නොවේ. ගැටලු‍ව ඇත්තේ පද්ධතියේය.

පරිස්සමෙන් සැලසුම් කළ යුතු වැඩසටහනක්

ඕනෑම ජාතික තරුණ වැඩසටහනක් ඉතාම පරිස්සමෙන් සැලසුම් කළ යුතුය. තරුණයන්ට නිල ඇඳුම් ඇන්දවූ පමණින් ඔවුන් පරිවර්තනය වන්නේ නැත. අනිවාර්ය සේවයක් මගින් ඉබේම විනය, රැකියා නියුක්තිය හෝ දේශප්‍රේමය නිර්මාණය වන්නේද නැත. වැදගත් වන්නේ තරුණයන්ට උගන්වන්නේ කුමක් ද, ඔවුන්ට සලකන්නේ කෙසේ ද සහ ඔවුන්ට ප්‍රයෝජනවත් කුසලතා ලැබෙන්නේ ද යන්නයි.

තම තරුණ පරපුර වටහා ගැනීමට සහ ඔවුන් ඵලදායී ලෙස සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වීමේ ආදීනව ශ්‍රී ලංකාව දැනටමත් අත්විඳ තිබේ. 1971 සහ 1987-1989 තරුණ නැගී සිටීම්වලින් ලබා දුන් පාඩම් අමතක නොකළ යුතුය. එම නිසා NSSP යනු හුදෙක් සංචරණ පිටියක් (Parade Ground)  නොව, නිෂ්පාදනය, කුසලතා, පෞරත්වය සහ අවස්ථාවන් ලබා දෙන පාසලක් විය යුතුය. ඊට ස්වාධීන අධීක්ෂණයක්, පාරදෘශ්‍ය තේරීමක්, සහභාගී වන්නන්ගේ නිසි ආරක්ෂාවක් සහ සැබෑ මනස්සාක්ෂියට එකඟව විරුද්ධ වන්නන් සඳහා සුදුසු සිවිල් විකල්පයන් තිබිය යුතුය.

මඟහැරිය නොහැකි සැබෑ ප්‍රශ්නය

එම නිසා ත්‍රිරෝද රථ මතභේදය මගින් මඟහැරිය නොහැකි සැබෑ ප්‍රශ්නය කරළියට ගෙනැවිත් තිබේ. තරුණයකුට ත්‍රිරෝද රථයක් පැදවීමට ඉඩ දිය යුතු වයස කුමක්දැයි ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින අතර, ඊට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ, එම තරුණයාගේ ඉදිරි වසර 40 හෝ 50ක සේවා කාලය සඳහා සූදානම් කිරීමට අප කරන්නේ කුමක් ද යන්නයි.

වයස් සීමාවක් දැමූ පමණින් පාස්සන්නකු, විදුලි කාර්මිකයකු, යාන්ත්‍රිකයකු, සාගරික තාක්ෂණික ශිල්පියකු, ඉදිකිරීම් විශේෂඥයකු, කෘෂිකාර්මික තාක්ෂණික ශිල්පියකු හෝ ඩිජිටල් වෘත්තිකයකු නිර්මාණය වන්නේ නැත.

  • එය කරන්නේ පුහුණුව මගිනි.
  • ප්‍රායෝගික අත්දැකීම් මගිනි.
  • වෘත්තීය මඟපෙන්වීම මගිනි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය මගිනි.

සමස්තයක් ලෙස, සුසංගත ජාතික ප්‍රතිපත්තියක් මගිනි.

එබැවින් වෘත්තීය අධ්‍යාපනය භාර අමාත්‍යාංශය මෙම මතභේදය තරුණ කුසලතා, රැකියා නියුක්තිය සහ සේවය පිළිබඳ ජාතික සංවාදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් කර ගත යුතුය. තරුණයන් ත්‍රිරෝද රථවලට පිවිසීම වළක්වන්නේ කෙසේදැයි අසනවා වෙනුවට, ඔවුන් වෙනුවෙන් වඩාත් ආකර්ෂණීය දොරටු විවර කරන්නේ කෙසේදැයි විමසමු.

එම දොරටු, කර්මාන්තශාලා, නැව්ංගන, ඉදිකිරීම් භූමි, ගොවිපොළවල්, රෝහල්, ඩිජිටල් මධ්‍යස්ථාන, යටිතල පහසුකම් ව්‍යාපෘති, හදිසි සේවා සහ ආර්ථිකයේ අනෙකුත් ඵලදායී ක්ෂේත්‍ර වෙත යොමු වේවා. ඒ අතරම, ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයම වෘත්තීය මට්ටමකට ගෙන එමගින් එය වඩාත් ආරක්ෂිත, වඩා හොඳින් නියාමනය වූ, හොඳින් පුහුණු වූ සහ පොදු ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වඩාත් ගෞරවයට පාත්‍ර වූවක් බවට පත් කරමු.

ශ්‍රී ලංකාවට තරුණ ශක්තියේ හිඟයක් නැත. අඩුපාඩුව වන්නේ එම ශක්තිය ඵලදායී රැකියාවලට, ජාතික සේවයට සහ ආර්ථික සංවර්ධනයට යොමු කළ හැකි ජාතික පද්ධතියක් නොමැති වීමයි. එම නිසා ත්‍රිරෝද රථ මතභේදය වයස පිළිබඳ තර්කයකින් අවසන් නොවිය යුතුය. එය ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සඳහා වන ”‍ජාතික කුසලතා ප්‍රතිපත්තියක”‍ ආරම්භය විය යුතුය.

මෙම ඊමේල් ලිපියනයෙන් ඔහුව සම්බන්ධකරගත හැකිය [email protected]

අතුල රණසිංහ 
ඵලදායිතා විශේෂඥ සහ 
කළමනාකරණ උපදේශක