
දඹුල්ල ජාතික පාසලේ තවමත් සුදු කොඩි සුළඟේ ලෙළදෙන්නේය. මීට සති කිහිපයකට පෙර මේ පාසලේ සුදු වතින් සැරසී දරු දැරියන්ගේ සතුටත් සිනහවත් මැදින් ඇවිද ගිය ඒ පිය සෙනෙහස අද එහි නැත. පාසලේ සෑම දරුවකුගේම දුකේදී ළඟ සිටි, සතුටේදී සිනහවකින් ඔවුන් දිරිමත් කළ ඒ විදුහල්පතිවරයා අද මතකයක් පමණි.
එදා ඔහු වෙනුවෙන් ලෙළදුණු සුදු කොඩි අදත් ඒ පාසල් බිමේ නිහඬව කියාපාන්නේ, ජානක විජේසිංහ නම් ඒ ගුරු පියාණන්ගේ හදිසි සමුගැනීමේ කතාවය. ඔවුන්ට පෙනෙන්නට තිබූ හුරුපුරුදු රුවක්, අසන්නට ලැබුණු හුරුපුරුදු හඬක් අද එහි නැත. එහෙත් ඒ හිස්තැන පිරවීමට කිසිදු සීනුවකට හෝ කිසිදු වචනයකට නොහැකිය. දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහයන්ගේ හදිසි සමුගැනීමෙන් අද ඒ පාසලේ බොහෝ හදවත් තුළ ඉතිරිව ඇත්තේ නිහඬ වේදනාවකි.
ගුරුවරයකු ලෙස දරුවන්ගේ අත අල්ලා අනාගතයට පියමං කරවූ ඔහු, විදුහල්පතිවරයෙක් ලෙස පාසලක දහස් ගණනක් සිහිනවලට වගකීම් දැරුවේය. අද ඔහු නැතත්, ඔහුගේ සෙනෙහස ලැබූ දරුවන්ගේ මතකවලත්, ඔහු සමඟ වැඩ කළ ගුරු මිතුරන්ගේ හදවත්වලත් ඔහු තවමත් ජීවමානය.
හදිසි රිය අනතුරකින් නිම වූයේ ඔහුගේ ජීවිතයේ ගමන පමණි. දරුවන් වෙනුවෙන් ඔහු කළ කැපවීමේ කතාව නම් එතැනින් නිම නොවේ. එය ඔහුගෙන් අකුරු ඉගෙනගත් සෑම දරුවකුගේම ජීවිතය තුළ තවත් බොහෝ දුරක් ගමන් කරනු ඇත.
1988 සැප්තැම්බර් මස 21 වැනිදා මාතලේ මහ රෝහලේදී මෙලොව එළිය දුටු ජානක, පිරිමි දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ බාල පුතණුවන් විය. සහෝදරයන් දෙදෙනකුගේ සෙනෙහස මැද, මවුපිය ආදරයෙන් පිරුණු ඒ කැදැල්ලේ ඔහුගේ ළමා දිවිය ගෙවුණේ සරලව හා සොඳුරු මතක රැසක් එක්කරමිනි.
ඔහුගේ අධ්‍යාපන ගමනේ මුල් පියවර තැබුණේ මුරුංගාහිටිකන්ද විද්‍යාලයෙනි. කුඩා කල සිටම අධ්‍යාපනයට දැක්වූ උනන්දුවත් කැපවීමත් මනාව පිළිබිඹු කරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 153ක් ලබාගත් ජානක, ඉන් අනතුරුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය.
“ජානක සර් ඉගෙන ගත්තෙත් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. මමත් ඉගෙන ගත්තේ ඒ පාසලෙන්මයි. හැබැයි මට වඩා ජානක සර් අවුරුදු පහක් විතර බාලයි. ඒ කාලේ ජානක සර් කියන්නේ දඟකාරකම් කරපු කෙනෙක් නෙවෙයි. හරිම චාම්, නිහතමානී චරිතයක්. අද වගේම ඒ දේවල් මට හොඳට මතකයි.

රිය අනතුරකින් මිය ගිය විදුහල්පති ජානක විජේසිංහ
ජානක සර් හරිම පිළිවෙළට වැඩ කරපු කෙනෙක්. කරන හැම දෙයක්ම හොඳ අවධානයකින්, වගකීමෙන් කළා. අධ්‍යාපනයට විතරක් නෙවෙයි, පාසල් කාලේදී ක්‍රීඩාවටත් ජානක සර් දක්ෂයි.
පහුගිය දවසක අපිට පාසල් කාලේ ජානක සර් පාවිච්චි කරපු බාලදක්ෂ පොතක් හොයාගන්න ලැබුණා. ඒක දැක්කම අපිට හිතාගන්න පුළුවන් ඔහු කොච්චර පිළිවෙළට වැඩ කරපු කෙනෙක්ද කියලා. පොතේ හැම දෙයක්ම හරිම පිළිවෙළට සටහන් කරලා තිබුණා. ජානක සර් කියන්නේ හොඳ බාලදක්ෂයෙක්. ඔහුගේ ඒ ගුණාංග පාසල් කාලේ ඉඳලම ඔහු ළඟ තිබුණා කියලා ඒ පොත දැක්කමත් හොඳටම තේරෙනවා.”
දඹුල්ල ජාතික පාසලේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී විවියානන්ද රඹුක්කන මෙසේ පැවසී්‍ය: පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ සහ හොකී කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජානක, එතැනින් නොනැවතී එවකට පාසලේ පැවැති විද්‍යා සංගමයේද උනන්දුවෙන් කටයුතු කළේය. අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද එකසේ කැපවෙමින්, තමන් සතු හැකියාවන් සොයා යමින් ඔහු ගෙවූ පාසල් දිවිය එලෙසින්ම අරුත්බර විය.
උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව තෝරාගත් ජානක, 2009 වසරේදී සම්මාන සාමාර්ථ තුනක් හිමිකර ගනිමින් උසස් පෙළ විභාගය සමත් විය. ඒ ජයග්‍රහණයත් සමඟ ඔහුගේ සිහින තවත් පුළුල් විය. 2010 වසරේදී රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වූ ඔහු, එහිදී කෘෂිකර්ම විද්‍යාවේදී (විශේෂ) උපාධිය සාර්ථකව සම්පූර්ණ කළේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පමණක් සීමා නොවූ ජානක, දැනුම සොයා යන තම ගමන තවදුරටත් පුළුල් කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් මෙන්ම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මූලික පාඨමාලාවක්ද හැදෑරූ ඔහු, තම වෘත්තීය ජීවිතයට අවශ්‍ය දැනුම එකතු කරගැනීමට නිරන්තරයෙන් උනන්දු වූ අයෙකි.
දැනුම සොයා ගිය ගමනට ක්‍රීඩාවද ඔහු අත්හැරියේ නැත. රජරට විශ්වවිද්‍යාලයේ හොකී කණ්ඩායමේ නායකත්වය දරමින් සිය ක්‍රීඩා හැකියාව මෙන්ම නායකත්ව ගුණයද ප්‍රකට කළ ජානක, 2016 වසරේදී උතුරු මැද පළාත් හොකී කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.
දැනුම සොයා යන ගමනට ජානක කිසිවිටෙකත් සීමා මායිම් තබා නොගත්තේය. තම වෘත්තීය ජීවිතය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන පරිපාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා ඇති ඔහු, එම ආයතනයෙන්ම අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද 2017 වසරේදී සාර්ථකව සම්පූර්ණ කළේය.එතැනින්ද ඔහුගේ දැනුම සොයා යන ගමන නිම නොවීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය හරහා භෝග විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද හිමිකර ගත්තේය. තමන් දැන සිටි දේ තුළ නතර නොවී, තව තවත් ඉගෙන ගනිමින් තම දැනුම පුළුල් කරගැනීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් විය.
වඩාත් සංවේදී කරුණ වන්නේ, ජීවිතයේ අවසන් කාලය ගත කරමින් සිටියදී පවා ඔහුගේ ඉගෙනීමේ ආශාව නතර නොවීමය. ඔහුගේ අනාගත සැලසුම් අතර තවත් එක් උපාධියක්ද තිබිණි. පශ්චාත් අධ්‍යාපන උපාධියක් හදාරමින් සිටි ඔහු, හෙට දවස වෙනුවෙන් දැනුම සොයමින් සිටියේය. එහෙත් ඒ හෙට දවස ඔහුට නොපැමිණියේය. පොත්පත් අතරින් තවත් දැනුමක් සොයා යන්නට, තවත් පාඩමක් ඉගෙන ගන්නට, තවත් සිහිනයක් සැබෑ කරගන්නට ඔහුට තිබූ කාලය හදිසියේම නතර විය.
“ජානක සර්ගේ මුල්ම ගුරු පත්වීම ලැබුණේ කැබිතිගොල්ලෑව මහ විද්‍යාලයටයි. ඔහු අධ්‍යාපන පරිපාලන විභාගය ඉහළින්ම සමත් වෙලා පසුව මලියදේව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට පරිපාලන සේවයට ආවා. ඊට පස්සේ 2019 වසරේදී දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා විදිහට පත්වෙලා පාසලට ආවා. ඒ වෙලාවේ ජානක සර්ගේ වයස අවුරුදු තිස් එකයි.
ජානක සර් හරිම තරුණ වයසකින් විදුහල්පතිවරයෙක් වුණා. ඔහුගේ ජීවිතය දිහා බැලුවම තව කොච්චර දේවල් කරන්න තිබුණ ද කියලා හිතෙනවා. ඒත් හදිසි රිය අනතුරකින් ඔහු අපි අතරින් යද්දී වයස අවුරුදු තිස් අටයි. සැප්තැම්බර් 21 වැනිදා කියන්නේ ජානක සර්ගේ උපන්දිනයයි. දෛවය කියන්නේ මොන තරම් පුදුම දෙයක් ද කියලා හිතෙන්නේ ඒක මතක් වෙනකොටයි. උපන්දිනයට තිබුණේ තවත් එක දවසක් විතරයි. ඒත් ඔහුගේ අවසන් කටයුතු යෙදිලා තිබුණේ සැප්තැම්බර් 20 වැනිදායි.
ජානක සර් ජීවතුන් අතර ඉන්න කාලේ රජමහා විහාරයේ දානය භාරගෙන තිබුණා. හැබැයි ඒ දානමාන කටයුතු කරන්න වුණේ ජානක සර් නැතුවයි. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම දානයක් දෙන්න අපිට සිද්ධ වුණා. ඒ වෙලාවේ හිතට දැනුණේ කියාගන්න බැරි තරම් දුකක්.”
විවියානන්ද රඹුක්කන මෙසේ පැවසීය: හොකී ක්‍රීඩාවට ජානක තුළ තිබූ දැඩි ඇල්ම නිසාම, දඹුල්ල ජාතික විද්‍යාලයේ හොකී ක්‍රීඩාව ආරම්භ කිරීමට ඔහු පියවර ගත්තේය. එතැනින් නොනැවතී දරු දැරියන්ගේ ක්‍රීඩා හැකියාවන් පුළුල් කරමින් පාසල තුළ පිහිනුම් ක්‍රීඩාවද ආරම්භ කළේය. දරුවන්ගේ අධ්‍යාපනය පන්ති කාමරයට පමණක් සීමා නොවිය යුතු බව විශ්වාස කළ ඔහු, විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් පාසල තුළ ආරම්භ කරමින් ඔවුන්ගේ දක්ෂතා හඳුනාගැනීමටත්, ඒවා වර්ධනය කිරීමටත් අවකාශ සලසා දුන්නේය.
පාසලේ භෞතික හා අනන්‍යතාවයේ වෙනස්කම් රැසක්ද ඔහුගේ පාලන කාලය තුළ සිදු විය. එතෙක් රංගිරි දඹුල්ල මහා විද්‍යාලය’ ලෙස පැවති පාසල, රංගිරි දඹුලු විද්‍යාලය’ ලෙස හඳුන්වාදීමත්, පාසලේ ධජය සහ නිල ලාංඡනය නවීකරණය කිරීමත් ඔහුගේ මඟපෙන්වීම යටතේ සිදු විය. දරු දැරියන්ගේ අධ්‍යාපනයට පමණක් නොව ඔවුන්ගේ ආධ්‍යාත්මික හා දෛනික ජීවිතයටද පහසුකම් සලසමින් නව බුදු මැදුරක් සහ නව ආපණශාලාවක් ඉදිකිරීමටද ඔහු මූලිකත්වය ගත්තේය.
“ජානක සර් හැම වෙලාවෙම හිතුවේ දරුවන් ගැනයි. පාසලේ දරුවන්ට ඔහු හරිම ආදරෙයි. ඒ නිසාම දරුවන්ට හොඳ පහසුකම් ටිකක් හදලා දෙන්න ඔහු පුදුම විදිහට මහන්සි වුණා. ඒ කාලේ පාසලේ තිබුණු ක්‍රීඩා පිටියේ පහසුකම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඒ පහසුකම් දියුණු කරන්න ජානක සර් ගොඩක් උත්සාහ කළා. ක්‍රීඩා පිටිය පුළුල් කරගන්න අවට තියෙන ඉඩම්වලින් කොටසක් පාසලට ලබාදෙන්න කියලා රජයෙන් ඉල්ලීම් කළා. ඒ වෙනුවෙන් නගරාධිපතිතුමා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අදාළ සියලුම අංශ එක්ක සාකච්ඡා වාර ගණනාවක්ම පැවැත්වුවා. ඒ කටයුතුවලින් මේ වෙද්දී හොඳ ප්‍රතිඵල ලැබෙමින් තිබුණා.
ජානක සර්ට තව ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි පාසලේ දරුවන් වෙනුවෙන් හොඳ පිහිනුම් තටාකයක් හදලා දෙන්න. ඒ වගේම පාසලේ කැඩිලා බිඳිලා තිබුණු ගොඩනැගිලි ගැනත් ඔහු නිතරම හොයලා බැලුවා. ඒවා අලුත්වැඩියා කරලා දරුවන්ට හොඳ පරිසරයක් හදලා දෙන්න ගොඩක් මහන්සි වුණා. පාසලේ තිබුණු පැරණිතම ගොඩනැගිල්ලක් වන ‘දඹුලු ශාලාව‘ත් ඔහුගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කළා. හැබැයි ඒක අලුත් කරනවා කියලා එහි තිබුණු පැරණි ස්වභාවය වෙනස් කරන්න ඔහු ඉඩ දුන්නේ නැහැ. ඒ ගොඩනැගිල්ලේ තිබුණු ඉතිහාසයත්, පරණකමත් ආරක්ෂා කරගෙනම වැඩ ටික කළා.
අලුත් පාසල් වාරයක් පටන් ගන්නකොට දරුවන්ට අවශ්‍ය පොත්පත්, පාසල් උපකරණ වගේ දේවල් ගන්න එකත් සමහර පවුල්වලට ලොකු බරක් කියලා ජානක සර් දැනගෙන හිටියා. ඒ නිසා ව්‍යාපාරිකයන් එක්ක කතා කරලා ඒ උපකරණ අඩු මිලකට දරුවන්ට ලබාදෙන්නත් ඔහු කටයුතු කළා.
ඇත්තටම ජානක සර්ට තමන්ගේ පාසල කියන්නේ ගොඩනැගිලි ටිකක් තිබුණු තැනක් නෙවෙයි. ඒක ඔහුගේම පවුලක් වගේ. දරුවන්ගේ අනාගතය හොඳ වෙනවා දකින්න ඔහුට තිබුණේ පුදුම ආසාවක්.”
ජානක විජේසිංහ යනු පාසලේ දරුවන් දහස් ගණනකට ගුරු පියකු වූවා සේම, තම දරු දෙදෙනාටත් සෙනෙහසින් පිරුණු ආදරණීය පියෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ මනෝජා ද ගුරුවරියකි. දරුවන් දෙදෙනාගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ඔවුන් සමඟ ගත කිරීමට හැකිවන පරිදි, ජානකගේ ඉල්ලීම මත ඇය නිවාඩු කාලයක් අනුමත කරගෙන සිටියාය.
ඔවුන් දෙදෙනාගේ ආදරයෙන් හැදී වැඩුණු දරු දෙදෙනා අතරින් වැඩිමහල් දියණිය වූ සනුලිටත්, පුතණුවන් වූ ආදීවටත් පියාගේ හදිසි වියෝව තවමත් සම්පූර්ණයෙන් වටහා ගැනීමට තරම් වයසක් නැත. එහෙත් කාලයත් සමඟ ඔවුන් වැඩෙද්දී, තම පියා දරුවන් දහස් ගණනකටත්, තම බිරිඳටත්, තමන්ටත් දැක්වූ අසීමිත ආදරයේ තරම අනිවාර්යයෙන්ම තේරුම් යනු ඇත.
තම බිරිඳටත් දරුවන් දෙදෙනාටත් අසීමිත සෙනෙහසක් තිබුණද, ජානකගේ ජීවිතයේ විශාල කොටසක් වෙන්ව තිබුණේ පාසල වෙනුවෙනි. රාජකාරි අවසන් වූ පසු කිලෝමීටර් අටකට පමණ ආසන්න දුරක් ගෙවා තම නිවසට යාම ඔහුගේ දෛනික ජීවිතයේ කොටසක් විය. දිගු දවසක වෙහෙසත්, රාජකාරියේ බරත් පසෙක තබා නිවසට පැමිණි ඔහුට එහි බලා සිටියේ තමන්ගේම ලෝකය වන ආදරණීය බිරිඳත්, පුංචි දරු දෙදෙනාත්ය.
“ජානක සර් තමන්ගේ බිරිඳට දරුවන් දෙන්නට වගේම අම්මා තාත්තටත් හරිම ආදරෙයි. සර්ගේ අම්මා මීට අවුරුදු ගාණකට කලින් නැති වුණා. තාත්තා නැතිවුණෙත් දැන් අවුරුද්දක් විතර වෙනවා. තාත්තා අසනීප වෙලා ඉන්න කාලේ ජානක සර් පුළුවන් හැම වෙලාවකම තාත්තව බලන්න ගියා. සමහර දවස්වලට තාත්තගේ රෙදි ටිකත් අරගෙන ඇවිත් පාසලේ ගුරු නිවාසයේ හෝදලා ඒවා වේළෙන්න දාලා තියෙනවා අපි දැකලා තියෙනවා.
ජානක සර් රජමහා විහාරයේ හාමුදුරුවරු එක්කත් හරිම හිතවත්. විහාරයේ කරන බොහෝ වැඩවලට පුළුවන් විදිහට ශ්‍රමයෙන් උදව් කළා. සර්ගේ ජීවිතයෙන් ලොකු කාලයක් ගෙවුණේ ඉස්කෝලෙත්, විහාරස්ථානයේත්, ගෙදරත් එක්කයි. ගමේ හිටපු අහිංසක, ආර්ථික අපහසුතා තිබුණු දරුවන් කිහිපදෙනෙක් තෝරගෙන ඔවුන්ට ශිෂ්‍යත්ව පවා ලබාදීලා ඉගෙන ගන්න උදව් කළා.
ඇත්තටම ජානක සර් ළමයින්ට හරිම ආදරෙයි. පහුගිය ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලේ තිබුණු උත්සවයකදී දරුවන් එක්ක සින්දු කියපු අවස්ථාවක් පවා තිබුණා. විදුහල්පතිවරයෙක් විදිහට සමහර වෙලාවට දරුවන්ට සැරෙන් කතා කළ අවස්ථාත් තිබුණා. හැබැයි ඒ හැම දෙයක්ම කළේ දරුවන්ගේ යහපත වෙනුවෙන්. ගුරුවරුන්ගේ මාරුවීම් නිසා පාසලේ පුරප්පාඩු ඇතිවෙන අවස්ථා කිහිපයකදීම ඒ මාරුවීම් නොදී තියාගත්තේත් දරුවන් ගැන හිතලයි. ගුරුවරයෙක් අඩු වුණොත් අන්තිමට ඒක බලපාන්නේ දරුවන්ට කියලා ඔහු හොඳින්ම දැනගෙන හිටියා.”
විවියානන්ද රඹුක්කන මෙසේ පවසයි: ජීවිතය පුරාම අනුන්ගේ අනාගතය වෙනුවෙන් සිහින දැකූ මිනිසකුට තමන්ගේ හෙට දවස ගැන සිහින දකින්නට ඉතිරි වූයේ ඉතා කෙටි කාලයකි. එක් නිමේෂයක සිදුවූ රිය අනතුරකින් ඒ සියලු සිහින අතරමඟ නතර විය. වයස අවුරුදු තිස් අටක් වැනි තරුණ වියේදී ජීවිතයෙන් සමගත් ඔහුගේ වියෝව, ඔහුගේ පවුලට පමණක් නොව දඹුල්ල ජාතික පාසලටත්, ඔහු ආදරය කළ දරු දැරියන්ටත් පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කළේය.
විශේෂ ස්තූතිය: නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්. ඒ. ඩී. එන්. වික්‍රමතිලක මහත්මියට.
දිශානි ජයමාලි කරුණාරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd