වර්තමාන ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ වඩාත්ම ජනප්‍රිය වාහන මාදිලි දෙක වන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථයි. දේශීය කර්මාන්ත නැංවීම සඳහා ආණ්ඩුව නිසි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළහොත්, මෙම වාහන ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. රාජ්‍ය අංශයේ නිසි වැඩපිළිවෙළක් ඔස්සේ මෙම නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට අලෙවි කිරීමෙන් මෙරට පවතින ඩොලර් අර්බුදයට පූර්ණ විසඳුමක් ලබාගත හැකිය.

මේ සඳහා අපට ඉන්දියාව ආදර්ශයට ගත හැකිය. දේශීය කර්මාන්ත නැංවීමේදී ඉන්දියාව භාවිතා කළේ ‘Made in India’ සංකල්පයයි. එය ආදර්ශයට ගනිමින් අපට ‘Made in Sri Lanka’ සංකල්පය හඳුන්වා දී දේශීය කර්මාන්ත ඉලක්කගත දිශානතියකට මෙහෙයවිය හැකිය.

දේශීය නිෂ්පාදනය සහ පදනම් කළ යුතු ප්‍රතිපත්ති

මෙම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ තීරුබදු රහිතව ආනයනය කිරීමට රාජ්‍ය බදු සහනයක් ලබාදිය යුතුය. විවෘත ආර්ථිකයක් තුළ කර්මාන්ත, ආනයන ආදේශන සහ අපනයනාභිමුඛ ලෙස වර්ගීකරණය වේ. වත්මන් රජය නිසි ක්‍රමවේදයක් සකස් කළහොත්, ආනයනික යතුරුපැදි සහ ත්‍රිරෝද රථ දේශීයව නිෂ්පාදනය කිරීම මගින් ආනයන සීමා කළ හැකිය. එමෙන්ම අපනයනාභිමුඛ කර්මාන්තයක් ලෙස විදේශ වෙළෙඳපොළ ආකර්ෂණය කරගැනීමට නිෂ්පාදකයින් දිරිගැන්විය යුතුය.

වාහනයක අනන්‍යතාව සහතික කෙරෙන්නේ එහි චැසිය අදාළ රට තුළ නිෂ්පාදනය කළහොත් පමණි. එබැවින් මුලින්ම මෙම යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල චැසිය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ යුතුය. වාහනයේ සියලු‍ තොරතුරු ඇතුළත් වන්නේ චැසි අංකය තුළ වීම ඊට හේතුවයි.

ආරම්භයේදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනයට අවශ්‍ය කොටස්වලින් 25%ක් ලංකාවේ නිෂ්පාදනය කර, පසුව එය 55% දක්වා වර්ධනය කළ හැකිය. ඉතිරි 45% දේශීයව නිෂ්පාදනය කිරීමට වඩා තරගකාරී මිලකට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. එකී ආනයන සඳහා අවම තීරුබද්දක් අය කිරීමේ ප්‍රතිපත්තියක් රාජ්‍ය යාන්ත්‍රණය මගින් සකස් කළ යුතුය.

ගෝලීය වෙළෙඳපොළ ජයගැනීමේ මග

චීනය වැනි රටක නිෂ්පාදනයක් ලෝක වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර දේශීය වෙළෙඳපොළ ජයගැනීම අනිවාර්ය වේ. මූලික යන්ත්‍රෝපකරණ, අච්චු (Moulds) සහ යටිතල පහසුකම් සඳහා වූ පිරිවැය පියවා ගැනීම එහි මූලික අරමුණයි. මූලික පිරිවැය පියවා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි සහ ත්‍රිරෝද රථ තරගකාරී මිලකට ලෝක වෙළෙඳපොළට යොමු කළ හැකිය.

ජාත්‍යන්තර වෙළෙඳපොළට නිෂ්පාදනයක් යොමු කිරීමේදී, අදාළ රට තුළ එම නිෂ්පාදනයේ වෙළෙඳපොළ කොටස (Market share)  කෙබඳුද යන්න විදේශිකයන් විමසා බලයි. එබැවින් මෙම කර්මාන්තය පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශයේ දැඩි නිරීක්ෂණය පැවැතිය යුතුය. ලෝක වෙළෙඳපොළේ දේශීය නිෂ්පාදන තරගකාරී ලෙස මිල නියම කිරීමට නිෂ්පාදන පිරිවැය අවම විය යුතු බැවින්, රජය අමුද්‍රව්‍ය ආනයනයේදී අවම බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. උදාහරණයක් ලෙස චීනයේ හෝ ජපානයේ යතුරුපැදියක් ඩොලර් 700ක් වන්නේ නම්, ලංකාවේ යතුරුපැදියක් ඩොලර් 500ක් වැනි තරගකාරී මිලකට ජාත්‍යන්තරයට නිකුත් කළ හැකි විය යුතුය.

මීට අමතරව රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක්ද ඇති කළ යුතුය. දේශීයව නිෂ්පාදනය කරන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා 80% දක්වා ලීසිං පහසුකම් ලබාදීමෙන් දේශීය කර්මාන්ත ගොඩනැගීමට රජයට මැදිහත් විය හැකිය. එමෙන්ම සියලු‍ම රාජ්‍ය ආයතන දේශීයව නිෂ්පාදිත යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මිලදී ගැනීම අනිවාර්ය කළ හැකිය. හැත්තෑවේ දශකයේ මුලදී උපාලි විජේවර්ධන එකලස් කළ Upali FIAT සහ Upali MAZDA  රථවල ප්‍රධාන මිලදී ගන්නන් වූයේ රාජ්‍ය බැංකු, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වීම ඊට හොඳම උදාහරණයයි.

දේශීය කර්මාන්ත සුරැකීම සහ රැකියා උත්පාදනය

දේශීය කර්මාන්ත සුරැකීම සඳහා ඊට සමාන ආනයනික නිෂ්පාදන සඳහා අධික බද්දක් පැනවිය යුතුය. මා ව්‍යාපාර පවත්වාගෙන යන, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කරන ඉතාලියේ ආනයනික යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා 210%ක අධික තීරුබද්දක් පැනවීම ඊට උදාහරණයකි.

පාසල් අධ්‍යාපනය නිම කළ තරුණයන්ට සහ උපාධිධාරීන්ට මෙම කර්මාන්තශාලා තුළින් රැකියා ලබාදීමෙන් විරැකියාවට ස්වාභාවික විසඳුමක් ලැබෙනු ඇත. එමෙන්ම විධිමත් තාක්ෂණික පුහුණුවකින් පසු එම ශිල්පීන් විදේශීය කර්මාන්තශාලාවල සේවයට යැවීමෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන ක්‍රමවේදයක්ද සකස් කළ හැකිය. දේශීය නිෂ්පාදන ලෝකයට හඳුන්වා දිය හැකි ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශන ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමයි.

ජාත්‍යන්තර වෙෙළඳාම සහ ගෝලීය අත්දැකීම්

විදේශ සබඳතා සහ ජාත්‍යන්තර වෙෙළඳාම අපට අත්‍යවශ්‍ය වේ. ”‍සිය රට දේ සිරි සැප දේ”‍ කියමින් දේශ හිතෛෂී භාවය සහ ස්වෛරී භාවය හිස්මුදුනින් පිළිගත් චීනයේ මින් අධිරාජ්‍යා, 1934 දී බලයට පැමිණි වහාම එරට වරායන් සහ නැව් තටාකාංගණ වසා දැමීය. ජාත්‍යන්තර වෙෙළඳාම හරහා 14 වැනි සියවසේ ලොව සුපිරි බලවතා වූ චීනයට, මින් අධිරාජ්‍යාගේ මෙම තීරණය හේතුවෙන් වසර 550ක් යනතුරු නැවත හිස එසවීමට නොහැකි විය. දේශානුරාගයෙන් මනස විකල් වූ විට යථාර්ථය අමතක වේ. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලෝකය තුළ මිස, ලෝකය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළත නොවන බව වටහාගැනීම පරම සත්‍යයයි.

බොහෝ ආර්ථික හා දේශපාලන සාකච්ඡාවලදී GSP Plus යනු වැදගත් මාතෘකාවකි. ”‍විශේෂ ප්‍රතිලාභ සහිත වෙෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය”‍ ඉංග්‍රීසියෙන් GSP Plus ලෙස හඳුන්වයි. GSP   ක්‍රමය මුල්වරට හඳුන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ වෙෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ කොමිසම (UNCTAD) මගිනි. මෙම සහනය ප්‍රදානය කිරීමේ අරමුණ වූයේ අඩු ආදායම්ලාභී රටවල අපනයන ආදායම ඉහළ නැංවීමට සහ කාර්මිකරණයට උදව් කිරීමයි. GSP ක්‍රමයේ ඉතිහාසය 1971 දක්වා දිවයන අතර, යුරෝපයේ රටවල් මුලින්ම මෙය ක්‍රියාත්මක කළේය.

කෙසේ වෙතත්, GSP  බදු සහනයට පෙර හැත්තෑවේ දශකයේ මුලදී ‘බහු කෙඳි ගිවිසුම‘ (Multi-Fiber Arrangement)  නමින් සහනයක් ලෝක වෙෙළඳාම තුළ ක්‍රියාත්මක විය. එහිදී සිදුවූයේ ඇඟලු‍ම් නිෂ්පාදනය කරන රටවලින් නිශ්චිත කෝටාවක් කෙටි කාලයක් සඳහා මිලදී ගැනීමයි. ලෝක වෙෙළඳ සංවිධානයේ වගකීම වූයේ ජාත්‍යන්තර වෙෙළඳාමේදී බදු රහිත වෙළඳාමක් සඳහා මැදිහත් වීමයි.

එවැනි බදු රහිත වෙෙළඳාමකදී යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට නොහැකි බවට එවකට සංවර්ධනය වෙමින් පැවති රටවල් චෝදනා කළේය. ඊට ප්‍රධාන හේතුව වූයේ සංවර්ධිත රටවල පැවති තාක්ෂණික පහසුකම් සහ ප්‍රාග්ධනය දුප්පත් රටවලට නොමැති වීමයි. එවැනි අවස්ථාවකදී සංවර්ධිත රටවල් බහු කෙඳි ගිවිසුම ඔස්සේ දුප්පත් රටවලින් නිශ්චිත කෝටාවක් මිලදී ගැනීමට තීරණය කළේය. නමුත් වියට්නාමය සහ චීනය වැනි රටවල් හැරුණු විට සෙසු බොහෝ රටවල් එමගින් දියුණුවක් ලබාගත්තේ නැත. මෙරට නිදහස් වෙ​ෙළඳ කලාප සහ විදේශ ආයෝජන ආරම්භ වූයේද මෙම බහු කෙඳි ගිවිසුම හරහා ලැබුණු සහනයෙනි. එය 2004 වසර දක්වා වරින් වර දීර්ඝ විය.

පසුව ඇමරිකාව, කැනඩාව සහ ජපානය ඇතුළු සංවර්ධිත රටවල් ගණනාවක් GSP  ක්‍රමය මගින් කුඩා රටවලට උදව් කිරීමට ඉදිරිපත් විය. යුරෝපා සංගමයේ GSP+  සහනය අපට වඩාත් වැදගත් වන්නේ එහි රටවල් 27ම බදු අඩු කරමින් හෝ බදු රහිතව භාණ්ඩ අලෙවියට ඉඩ සලසමින් මෙම සහනය ප්‍රදානය කර තිබීම නිසාය.

පූර්ණ වගකීම

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට මුදල් අමාත්‍යවරයා ලෙස මෙම දේශීය කර්මාන්තය නැංවීමට සෘජුවම පියවර ගත හැකිය. වඩාත් කනගාටුදායක කරුණ වන්නේ ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා GSP සහනය ලැබුණද, මා ප්‍රධාන විධායක ධුරය දරන, මා සතු K.G.D. RISE ELECTRICAL MOTORS  ආයතනය හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකික යතුරුපැදියක් මෙතෙක් GSP  සහනය යටතේ යුරෝපයට අපනයනය කර නොතිබීමයි.

ලංකාවේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයන් යුරෝපයේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති මෙම GSP  සහනය පිළිබඳව දැනුවත් නොවීම ඛේදවාචකයකි. උදාහරණයක් ලෙස, යුරෝපයට චීන යතුරුපැදියක් අපනයනයේදී අයකරන තීරුබද්ද 86%කි. නමුත් ශ්‍රී ලංකාවෙන් යුරෝපයට අපනයනය කරන යතුරුපැදි සඳහා GSP සහනය යටතේ අය කරන්නේ 6%ක තීරුබද්දක් පමණි. අපගේ මීළඟ සැලසුම ලෙස දොර හතරක් සහිත, ඒසී සහිත ත්‍රිරෝද රථයක් ලංකාවේ නිෂ්පාදනය කර ඇත්තේ යුරෝපා වෙළෙඳපොළ සඳහාය. නමුත් අප එම ත්‍රිරෝද රථය ප්‍රථමයෙන් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙමු.

යුරෝපීය වෙළෙඳපොළට පිවිසීමට ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා 'CE' නමැති තත්ත්ව සහතිකය අත්‍යවශ්‍ය වේ. අපගේ ආයතනයට මෙම සහතිකය ජාත්‍යන්තරයෙන් ලැබී ඇත. චීනයේ බොහෝ කර්මාන්තශාලාවල නිෂ්පාදිත වාහන සඳහා මෙම සහතිකය නොමැත. සාම්ප්‍රදායික අපනයනයන්ට වඩා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ දේශීයව නිෂ්පාදනය කර යුරෝපයට අපනයනය කිරීම මෙරට ඩොලර් අර්බුදයට ප්‍රායෝගික විසඳුමකි.

6%ක GSP  බදු සහනය යටතේ ලංකාවේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ඉතාලිය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය සහ ග්‍රීසිය වැනි රටවලට අපනයනය කළ හැකිය. මෙම බදු සහනය ශ්‍රී ලංකාවට ලැබී ඇති සුවිශේෂී වරප්‍රසාදයකි. නමුත් මෙම අපනයන වරප්‍රසාදය වටහාගැනීමට දේශීය රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන අපොහොසත් වීම අවාසනාවකි.

ජනාධිපතිතුමා වහාම අවධානය යොමු කර දේශීයව මෝටර් රථ සහ ත්‍රිරෝද රථ නිපදවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපත්ති මාලාව සකස් කළ යුතුය. මෙම වාහන සඳහා අවශ්‍ය රබර් කොටස් සහ ටයර් ලංකාවේම නිෂ්පාදනය කළ හැකි බැවින්, මෙරට රබර් වගාවටද මින් හොඳ කලක් යනු ඇත.

රාජ්‍ය යාන්ත්‍රණය මුලින්ම කළ යුත්තේ යුරෝපයෙන් ලංකාවට ලැබී ඇති GSP  සහනය පිළිබඳව දැනටමත් කොටස් එකතු කරමින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිපදවන දේශීය නිෂ්පාදකයින් දැනුවත් කිරීමයි. එමෙන්ම නව නිෂ්පාදකයින්ට මෙහි ආයෝජනයට යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. ජනාධිපතිතුමාගේ ඉලක්කය විය යුත්තේ යුරෝපා වෙළෙඳපොළ ජයගන්නා නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යාමයි. එමගින් ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සන්නාම ලෝක පූජිත වී, මෙරටට වඩ වඩාත් විදේශ විනිමය ගලා එනු ඇත. ඒ සඳහා දැනට අවශ්‍ය වන්නේ පූර්ණ රාජ්‍ය මැදිහත්වීම පමණි

ඩොලර් අහේනියකට පත්ව සිටින ආණ්ඩුව වහාම කළ යුත්තේ මෙම කර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. නිෂ්පාදන හැකියාව ඇති නිෂ්පාදකයින් මුදල් අමාත්‍යාංශයට කැඳවා අවශ්‍ය බදු සහන හඳුන්වා දිය යුතුය. ඒ සඳහා විධිමත් මණ්ඩලයක් පත්කර වහා පියවර ගත යුතුව ඇත.

ජනාධිපතිතුමා මේ පිළිබඳව වහා පියවර ගතහොත්, සාම්ප්‍රදායික භෝග අපනයනය කළ ශ්‍රී ලංකාව, කාර්මික රටක් ලෙස වාහන අපනයනය කරන තත්ත්වයට පත් කළ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස එතුමා ඉතිහාසගත වනු ඇත.

කෙසේ වෙතත්, චීනයෙන් ගෙනෙන බාල නිෂ්පාදනවල 'Made in Sri Lanka'  ස්ටිකරය අලවා යුරෝපයට අපනයනය කිරීමට මෙහිදී ඉඩ නොලැබෙන බවත්, එය සැබවින්ම ලංකාවේම නිෂ්පාදනයක් විය යුතු බවත් අවසාන වශයෙන් මතක තබාගත යුතුය. මන්ද යුරෝපීය වෙෙළඳපොළට භාණ්ඩ ඇතුළු කරගැනීමේදී ඔවුන් දැඩි තත්ත්ව පරීක්ෂාවකට ලක්කරන බැවිනි. දැනටමත් චීන නිෂ්පාදන 'Made in Sri Lanka'  ලෙස හඟවා යුරෝපයට ඇතුළු කිරීමට ගොස් කන්ටේනර් පිටින් අතරමං වී තිබීම ඊට හොඳම උදාහරණයයි.