
උදේ පාන්දර කණ්ණාඩිය ඉදිරියේ හිටගෙන ඔබ තම හිසකෙස් සකසන්නීය. මුහුණේ හැඩ බලන්නීය. ඇඳුම වල හැඩ බලන්නීය. දවස පුරාම ඔබ තම ශරීරය ගැන නොයෙකුත් දේවල් සිතමින් වද වන්නීය. එහෙත් කාන්තා ඔබ තම පියයුරු දෙස අවධානයෙන් බලන්නේ කොපමණ වාරයක්ද?
“ගැටිත්තක් නැත්නම් ප්‍රශ්නයක් නෑ.” “මට තවම වයස නෑ...”
“මම තරුණයි. ඒ නිසා මට පියයුරු පිළිකාවක් හැදෙන්නේ නෑ.”
ඔබ වයස 30 ඉක්මවා ගිය කාන්තාවක නම් මේ සිතුවිලි අවදානම්ය. කාන්තාවන් බොහෝ දෙනකුගේ සිතේ තිබෙන මේ අදහස නිසාම ඇතැම් විට සිදුවන්නේ ඉතා වැදගත් කාලයක් අහිමි වීම ය.
පියයුරු පිළිකාව අද ලෝකයේ කාන්තාවන් අතර වැඩිම අවධානයක් යොමු වන පිළිකා අතර ඉදිරියෙන්ම සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2026 දත්ත අනුව 2024 වසරේ ලොව පුරා කාන්තාවන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට පියයුරු පිළිකාව හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව 694,000ක් පමණය.
ශ්‍රී ලාංකාවේ මුළු ජනගහනය ඇස්තමේන්තුගත සංඛ්‍යා ලේඛන දත්තයන්ට අනුව මිලියන විසි දෙකකට ආසන්නය. ඉන් පිරිමි ජනගහනය මිලියන10.8 ආසන්න අගයක් වන අතර, කාන්තාවන් මිලියන 11.3 ආසන්න වේ. කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩිවන අතර, එකී අගය ලක්ෂ පහත් හයත් අතර අගයක් ගනියි.
ලංකාවේ සෞඛ්‍ය ගැටළු සලකා බැලීමේ දී බහුල වශයෙන් ගොදුරුවන රෝගී තත්ත්වයක් ලෙස පිළිකාව හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් පිළිකා රෝගීන් තිස් දහසක් පමණ වාර්ෂිකව ලියාපදිංචි වන අතර, දහඅට දාහක් පමණ එම රෝගී තත්ත්වයෙන් දිවියෙන් සමු ගන්නා බව ද වාර්තා වෙයි. ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන් වීම හා ඉන් පහළොස් දෙනකු දෛනිකව පියයුරු පිළිකාවට ගොදුරුවීමේ අවදානම ලඝුකොට බැහැර නොකළ යුතුය.
එසේ් නම්, පියයුරු පිළිකාව ගැන බිය වීමට වඩා එය ගැන දැනුවත් වීම වැදගත්ය.
මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරිනි.
" මේ වෙනකොට ලංකාවේ වැඩිපුර ව්‍යාප්තව තියෙන්නේ පියයුරු පිළිකාව. 2022ජාතික පිළිකා ලේඛනයෙන් ප්‍රකාශිත දත්ත අනුව, එම වසරේ පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 5447 ක් වාර්තා වෙලා තිබෙනවා. දිනකට සාමාන්‍යයෙන් 15 කට ආසන්න සංඛ්‍යාවක් පියයුරු පිළිකා රෝගීන් ලෙස අලුතින් හඳුනා ගැනීම සිදුවෙනවා. මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමක පවතින බව දත්ත අනුව පැහැදිලි වෙනවා.
පියයුරු පිළිකාවක් ගැන කතා කරන විට බොහෝ දෙනාගේ මතකයට මුලින්ම එන්නේ ගැටිත්තක්. එය වැරදි නොවේ. පියයුරේ අලුත් ගැටිත්තක් හෝ තද ස්ථානයක් හඳුනාගැනීම පියයුරැ පිළිකාවේ වැදගත් ම ලක්ෂණයක්.නමුත් එය එකම ලක්ෂණය වන්නේ නැහැ.ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා රෝගීන් සැලකිය යුතු කොටසත් තවමත් මුල් අවධියේ හඳුනා නොගැනීම ප්‍රධාන අභියෝගයක් වෙලා තියෙනවා. ප්‍රමාද වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, ලක්‍ෂණ නොසලකා හැරීම, වැනි මෙම කරුණු මෙයට බලපා තිබෙනවා. ඒ වගේම පියයුරු පිළිකාවක් මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවත් පැවතිය හැකියි .
පියයුරේ හැඩය හෝ ප්‍රමාණය අලුතින් වෙනස් වීම, සම ඇදෙන ආකාරයක් හෝ රැලි වැටීමක් ඇතිවීම, තනපුඩු ඇතුලට ගිලී යාමක් ,සුව නොවන තුවාලයක් හෝ සමෙහි වෙනසක්,පියයුරේ අඛණ්ඩ වේදනාවක් හෝ අසාමාන්‍ය වෙනසක්.තනපුඩුවෙන් අසාමාන්‍ය දියරයක් පිටවීම, පියයුරේ හෝ කිහිල්ලේ අලුත් ඉදිමීමක් හෝ ගැටිත්තක් ඇතිවීම වැනි වෙනස්කම්ද වෛද්‍ය පරීක්ෂාවකට හේතුවක් විය හැකියි. එහෙත් මෙවැනි සෑම වෙනසක්ම පිළිකාවක් බවට තීරණය කිරීමද වැරදියි.
මෙවැනි ලක්ෂණයක් තිබුණොත් එය පිළිකාවක් යැයි අනිවාර්යෙන් අදහස් නොකරන නමුත්, එය පිළිකාවක් ද? නැද්ද? යන්න තහවුරු කිරීමට වෛද්‍ය පරීක්‍ෂාවක් අත්‍යාවශ්‍යම වෙනවා.
ඒ වගේම තමයි පියයුරු පිළිකා ඇති කාන්තාවන් සියල්ලන්ම ජානමය අවදානමක් ඇති පවුල්වලින් පැමිණෙන්නේ නැහැ. පියයුරු පිළිකා ඇති කාන්තාවන්ගෙන් ජානමය නිසා පිළිකා ඇති වන්නේ සියයට 5–10ක් පමණ. ඒ නිසා “අපේ පවුලේ කාටවත් තිබුණේ නැහැ” කියා සම්පූර්ණයෙන්ම අපට නිදහස් විය නොහැකියි.
ඒ වගේම පියයුරු පිළිකාවට එක් නිශ්චිත හේතුවක් නැහැ. කාන්තාවක් වීම, වයස වැඩිවීම, පවුලේ පිළිකා ඉතිහාසය, BRCA 1/ BRCA 2 වැනි ජානමය වෙනස්කම්, අධික බර සහ ස්ථූලතාවය, ශාරීරික ක්‍රියාකාරීත්වය අඩුවීම, මත්පැන් භාවිතය, හෝමෝන ආශ්‍රිත සාධක සහ ප්‍රජනන ඉතිහාසය( කලින් මල්වර වීම, ආර්ථවහරණය ප්‍රමාද වීම, දරු ප්‍රසූතියක් නොවීම) වැනි කරුණු පියුරු පිළිකා අවදානම වැඩිකිරීමට හේතුවේ. එහෙත් එවන් අවදානම් සාධක කිසිවක් නොමැති කාන්තාවකට වූවත්, පියයුරු පිළිකා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් තරුණ වයසේ දී හඳුනාගන්නා පිළිකා සමහර විට වඩා ආක්‍රමණශීලී විය හැකි බැවින්, වයස කුමක් වුවත් සැක සහිත පියයුරැ අශ්‍රිත ලක්ෂණ නොසලකා සිටීම නොකළ යුතු වෙනවා.
ස්ථූලතාවය පියයුරු පිළිකා අවදානම වැඩි කළ හැකියි.
මෙය සිදුවෙන්නේ ශරීරයේ ඇති අතිරික්ත මේදයේ බලපෑමෙන් රැධිරයේ ඇති ඊස්ට්‍රජන් (Estrogen) ඇතුළු හෝමෝනයන් ගේ සමතුලිතතාවට බලපෑම් ඇතිවීම මගිනුයි. එම නිසා ඕනෑම කාන්තාවක් සෞඛ්‍ය සම්පන්න දේහ බරක් පවත්වා ගැනීම ඉතා වැදගත් බව කිව යුතුයි. බර පාලනයෙන් හා සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම සහ නිතිපතා ශාරීරික ව්‍යායාම්වල යෙදීම මගින් පියයුරු පිළිකා ඇතුළු පිළිකා කීපයක අවදානම අඩු කර ගත හැකියි.
ඔසප් චක්‍රය නතර වීමෙන් පසු පසු ශරීරය මහත් වීම, ශරීරයේ Estrogen නිෂ්පාදනයේ වෙනස්කම්, ප්‍රතිශක්තිකරණය හීනවීම සහ ජීවන රටාව වැනි සාධක ද පියයුරැ පිළිකා අවදානමට බලපන්න ලොකු ඉඩ කඩක් තියෙන නිසා ඔසප් ක්‍රියාවලිය නතර වීමෙන් පසු කාන්තාවන් පියයුරු සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයකින් සිටිය යුතුයි.
Mammogram එක ගැන බියද?
වයස අවුරුදු පනහට පසු screening, මැමෝ පරීක්ෂණයක් කිරීම සුදුසු වෙනවා. එය අවුරුදු 2 වරක් ද සිදුකිරීම සුදුසු නමුත් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ඇති පහසුකම් අනුව මෙය අනිවාර්යයෙන් සිදුකිරීම සීමාවන අතර වෛද්‍ය නිර්දේශයක් යටතේ පමණක් සිදුකෙරෙනවා. නමුත් බොහෝ කාන්තාවන් mammogram පරීක්ෂණය ගැන විවිධ බිය සහ වැරදි අදහස් දරනවා. නමුත් කාන්තාවකට mammogram අවශ්‍යද, කුමන වයසේදී ආරම්භ කළ යුතුද, කොපමණ වාරයක් කළ යුතුද යන්න සෑම කාන්තාවකටම එකම පිළිතුරක් වන්නේ නැහැ. මෙයට වයස, පවුල් ඉතිහාසය, පෞද්ගලික අවදානම සහ පෙර පරීක්ෂණ ප්‍රතිඵල අනුව වෛද්‍යවරයාගේ උපදෙස් වැදගත් වෙනවා.
පිරිමින්ටත් පියයුරු පිළිකා ඇතිවිය හැකි ද?
ඔව් පිරිමින්ට ද පියයුරු පිළිකාව ඇතිවිය හැකිය. එය කාන්තාවට වඩා ඉතා දුර්ලභ වුවද පිරිමියාට ඇතිවන පියයුරුර පිළිකා වඩාත් ආක්‍රමණශීලී පිළිකාවක් . පිරිමියකුගේ පියයුරේ ගැටිත්තක් හෝ තනපුඩුවේ අසාමාන්‍ය වෙනසක් ඇති වුවහොත් එය නොසලකා නොහැර ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා.
පිළිකාව කලින් හඳුනාගැනීම (early detection) සඳහා ලංකාවේ පහසුකම් ප්‍රමාණවත්ද?
ශ්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා පියුරු පිළිකා පරීක්ෂණ, විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා පහසුකම් පවතිනවා. ඒ වගේම ජාතික පිළිකා මර්දන වැඩසටහන යටතේ පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන ( Cancer early detection Centre’s) පියයුරු සායන ඇතුළු සේවා ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් පහසුකම් තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. කාන්තාවන් ඒවා වෙත පැමිණීම සහ සැක සහිත රෝගීන් නිසි වෙලාවට යොමු වීම ඉතාම අත්‍යවශ්‍යයි. නමුත් බොහෝ දෙනා මේ පරීක්ෂණ වලට යොමු වන්නේ ඉතාම ප්‍රමාද වෙලා.
ඒ වගේම තමයි බොහෝ රෝගින් පියයුරු පිළිකාවක් කිව්වාම හරි බයයි. සඳහා ලංකාවේ පවතින ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තියෙනවා. මෙම ක්‍රම ප්‍රතිකර තෝරා ගැනෙන්නේ පිළිකාවේ තත්වය මතයි.
කීමෝතෙරපි (ඖෂධ ප්‍රතිකාර), රේඩියෝතෙරපි (විකිරණ ප්‍රතිකාර), හෝමෝන ප්‍රතිකාර සහ ඉලක්කගත ප්‍රතිකාර වැනි ක්‍රම පිළිකා ප්‍රතිකාරයේදී භාවිත වෙනවා. මෙහිදී රෝගයේ අවධිය, පිළිකාවේ වර්ගය සහ ස්වභාවය, පිළිකාවේ පැතිරීම සහ එක් එක් ප්‍රතිකාර ක්‍රමය අනුව සහ රෝගියාගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය අනුව තීරණය වෙනවා.
බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd