අපේ පාසල් දරුවාට සංගීතය තෝරාගන්නත් අයිතියක් නැද්ද?

- ශ්‍රී ලංකාවේ පාසල් සංගීත අධ්‍යාපනය ගැන නැවත සිතා බැලිය යුතු කාලයයි

“පුතා සංගීතය කරනවා ද?” 

“ඔව්.”

“මොන සංගීතය ද?” 

“පෙරදිග සංගීතය.”

ඊළඟ ප්‍රශ්නය බොහෝ දෙනා නො අසති.

“ඇයි ඒ සංගීතයම තෝරාගත්තේ ?”

එහෙත් මට නම් මෙය අතිශය වැදගත් ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ දරුවෙකුට සංගීතය තෝරාගැනීමේ දී සැබෑ නිදහසක් තිබේ ද ? ඔහු හෝ ඇය කැමති සංගීත සම්ප්‍රදාය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේද ? නැතහොත් අප නොදැනුවත්වම ජාතිය, භාෂාව, පාසල, ගුරුවරයා සහ සමාජයේ පවතින මතවාද විසින් දරුවාගේ සංගීත තේරීම තීරණය කරනු ලබන්නේ ද ?

මේ ප්‍රශ්න කීපය ගැන අප නැවත සිතා බැලිය යුතු කාලය පැමිණ තිබේ.

“පෙරදිග සංගීතය” කියන්නේ ඇත්තටම කුමක් ද?

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ “පෙරදිග සංගීතය” යන පදය අපට ඉතා හුරුපුරුදුය.

එහෙත්, පෙරදිග සංගීතය යනු කුමක් ද?

ආසියාව ගත් විට චීන සංගීතය, ජපන් සංගීතය, අරාබි සංගීත සම්ප්‍රදායන්, ඉන්දුනීසියානු සංගීතය සහ ඉන්දියානු සම්භාව්‍ය සංගීතය තිබේ. ඉන්දියානු සම්භාව්‍ය සංගීතය තුළ හින්දුස්ථානි සහ කර්ණාටක යන ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් තිබේ.

එසේ නම් ශ්‍රී ලංකාවේ පාසලක පෙරදිග සංගීතය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක් ද? මෙය නිකම්ම වචන පිළිබඳ ගැටලුවක් නොවේ. විෂයයක් නම් කරන ආකාරය, එම විෂය පිළිබඳ දරුවාගේ අවබෝධය ද හැඩගස්වයි.

සිංහල දරුවාට හින්දුස්ථානි, දෙමළ දරුවාට කර්ණාටක?

මෙතැනදී තවත් සංවේදී ප්‍රශ්නයක් මතු වේ.

ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ පරිසරයන් තුළ නොකියා කියන ආකාරයේ සංගීත වර්ගීකරණයක් දක්නට ලැබේ.

සිංහල දරුවා - හින්දුස්ථානි සංගීතය.

දෙමළ දරුවා - කර්ණාටක සංගීතය.

මෙය නීතියක් නොවිය හැකිය. නිල ප්‍රතිපත්තියක් නොවිය හැකිය. එහෙත් සමාජයේ ඇතැම් තැන්වල එවැනි මතයක් තිබේ නම්, එය අප විමසා බැලිය යුතුය. මක්නිසාදයත් සංගීතය ජාතියකට අයත් වියහැකි නමුත්, සංගීතය ඉගෙන ගැනීමේ අයිතිය ජාතියකට සීමා කළ නොහැකි බැවිනි.

කර්ණාටක සංගීතය දෙමළ ශිෂ්‍යයාට පමණක් අයත් සංගීතයක් නොවේ.

හින්දුස්ථානි සංගීතය සිංහල ශිෂ්‍යයාට පමණක් අයත් සංගීතයක් ද නොවේ.

දරුවෙකුට කර්ණාටක සංගීතය ඉගෙන ගැනීමට කැමති නම්, ඔහුගේ භාෂාව සිංහලවීම එයට බාධාවක් විය යුතු නැත. එසේ ම දෙමළ දරුවෙකුට හින්දුස්ථානි සංගීතය ඉගෙන ගැනීමට අවශ්‍ය නම් එයට ද කිසිදු සංස්කෘතික බාධාවක් නොතිබිය යුතු ය. සංගීතය බෙදීමට වඩා සංගීතයෙන් මිනිසුන් එකතු කිරීම අපේ අධ්‍යාපනයේ වගකීම නොවේ ද?

දරුවාට සංගීතය තෝරාගන්න ඉඩ දී තිබේ ද?

අධ්‍යාපනයේදී “ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය” ගැන අපි බොහෝ දේ කතා කරමු. එහෙත් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යනු පොතක ලියා ඇති වචන කීපයක් පමණක් නොවේ. දරුවාගේ කැමැත්ත, හැකියාව, නිර්මාණශීලීත්වය සහ තෝරාගැනීමේ නිදහස එහි මූලික අංග වේ.

එසේ නම් සංගීතය තෝරාගැනීමේ දී දරුවාට ඇත්තටම තේරීමක් තිබේ ද?

“ඔයා සිංහල නිසා මේ සංගීතය කරන්න.”

“ඔයා දෙමළ නිසා ඒ සංගීතය කරන්න.”

“අපේ පාසලේ මේ විෂය පමණයි තිබෙන්නේ.”

“ගුරුවරයා මේ සංගීතය තමයි උගන්වන්නේ.”

 වැනි හේතු නිසා දරුවාගේ තේරීම සීමා වන්නේ නම්, එය සැබෑ තේරීමක් නොවේ. තේරීමේ අවස්ථාව තිබීමත්, තෝරාගැනීමේ සැබෑ නිදහස තිබීමත් දෙකකි.

අපි සංගීතය උගන්වන්නේ විභාගයට ද?

අපි දරුවන්ට සංගීතය උගන්වන්නේ සංගීතය රසවිඳීමට ද? නැතහොත් විභාගය සමත් කිරීමට ද? මෙය සංගීත ගුරුවරුන්ට කරන චෝදනාවක් නොවේ. එය සමස්ත අධ්‍යාපන ක්‍රමයටම අදාළ ප්‍රශ්නයකි.

සංගීතය යනු මතක තබාගෙන ලියන විෂයක් පමණක් නොවේ.

• දරුවෙකුට ස්වරය ඇසිය යුතුය.
• තාලය දැනිය යුතුය.
• ගායනා කළ යුතුය.
• වාදනය කළ යුතුය.
• සංගීතය නිර්මාණය කළ යුතුය.
• අන් අයගේ සංගීතය අසා විවේචනය කළ යුතුය.
• තමන්ගේම සංගීත අදහසක් ඉදිරිපත් කළ යුතුය.

එසේ නොමැතිව සංගීතය පොතක ඇති නිර්වචන සහ න්‍යායන් මත පමණක් සීමා වුවහොත්, අප සංගීතය උගන්වනවාට වඩා සංගීතය පිළිබඳ තොරතුරු උගන්වමින් සිටිනවා විය හැකිය.

අපේම සංගීතය කොතැන ද?

ශ්‍රී ලංකාවට තමන්ගේම පොහොසත් සංගීත උරුමයක් තිබේ. ජන ගී, කවි ගායනා, වන්නම්, නාඩගම්, නූර්ති, පාරම්පරික වාදන සම්ප්‍රදායන්, චාරිත්‍රානුකූල සංගීත ආකාර සහ විවිධ ප්‍රාදේශීය සංගීත සම්ප්‍රදායන් අප සතුව තිබේ.

එහෙත් අපේ දරුවාට ඒවා පිළිබඳ දැනුම කොපමණ ලැබේ ද? අපේ දරුවාට, “මේ අපේ සංගීත උරුමයයි” යන හැඟීම ඇති කිරීමට පාසලට හැකි වී තිබේ ද? අපි ඉන්දියානු සහ බටහිර සංගීත සම්ප්‍රදායන් ඉගෙන ගත යුතුය. ඒවා අපේ සංගීත අධ්‍යාපනය පොහොසත් කරයි. නමුත් ඒ අතරතුර අපේම සංගීත උරුමය අමතක කළ යුතු නැත.

21 වැනි සියවසේ දරුවා සහ 20වැනි සියවසේ සංගීත පන්තිය

අද දරුවා සංගීතය අසන්නේ ගුවන්විදුලියෙන් පමණක් නොවේ. ඔහු 

YouTube  හරහා සංගීතය අසයි.

Digital platforms  හරහා ලෝකයේ විවිධ සංගීත සම්ප්‍රදායන් අත්විඳියි.

ජංගම දුරකථනයෙන් ගීත පටිගත කරයි.

පරිගණකයෙන් සංගීත නිර්මාණය කරයි.

විවිධ රටවල සංගීතය එකම දවසක අසයි.

එසේ නම් පාසලේ සංගීත පන්තිය පමණක් පැරණි සීමාවන් තුළ රැඳී සිටිය යුතු ද? අද සංගීතයdigital ය. පාසල් සංගීත අධ්‍යාපනය ද digital විය යුතුය.

සංගීත පටිගත කිරීම digital composition" music technology, multimedia, online learning  වැනි ක්ෂේත්‍ර සංගීත අධ්‍යාපනයට ක්‍රමයෙන් ඇතුළත් කළ යුතුය.

විසඳුම කුමක් ද?

විවේචනය කිරීම පහසුය. නමුත් ප්‍රශ්නය වන්නේ විසඳුම කුමක් ද? යන්නයි. මගේ අදහස අනුව ශ්‍රී ලංකාවේ පාසල් සංගීත අධ්‍යාපනයේ අනාගතය සඳහා මූලික මූලධර්ම කීපයක් අවශ්‍ය ය.

  1. දරුවෙකුගේ සංගීත තේරීම ඔහුගේ ජාතිය හෝ භාෂාව මත තීරණය නොකළ යුතුය.
  2. හින්දුස්ථානි සහ කර්ණාටක සංගීතයට සමාන අධ්‍යාපනික අවකාශයක් ලබාදිය යුතුය.
  3. රී ලාංකේය සංගීත උරුමය පාසල් සංගීත අධ්‍යාපනයේ ශක්තිමත් අංගයක් කළ යුතුය.
  4. සංගීතය විභාගයට පමණක් සීමා නොකර ප්‍රායෝගික, නිර්මාණාත්මක හා ශ්‍රවණාත්මක විෂයක් බවට පත් කළ යුතුය.
  5. නව සංගීත තාක්ෂණය පාසල් පද්ධතියට හඳුන්වා දිය යුතුය.
  6. විවිධ ජාතීන්ට අයත් දරුවන් එකට සංගීතය නිර්මාණය කරන පරිසරයක් ඇති කළ යුතුය.

අවසානයේ අපට ඇසිය යුතු ප්‍රශ්නය

අපි දරුවකුගෙන් - “ඔබ කුමන ජාතියේ ද?” යන ප්‍රශ්නය අසා, ඒ අනුව ඔහුට ඉගෙනගත හැකි සංගීතය තීරණය කරනවා ද?

නැතහොත්,“ඔබ කැමති කුමන සංගීතයට ද?”යන ප්‍රශ්නය අසා ඔහුට ලෝකයේ විවිධ සංගීත සම්ප්‍රදායන් අතරින් තමන්ගේ සංගීත ලෝකය තෝරාගැනීමට අවස්ථාව ලබා දෙනවා ද? මෙය හුදෙක් සංගීතය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

මෙය අපේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකි, අපේ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයකි, අපේ දරුවන්ගේ නිදහස පිළිබඳ ප්‍රශ්නයකි.

සංගීතයට මිනිසුන් වෙන් කිරීමේ හැකියාව තිබේ. එහෙත් එයට මිනිසුන් එකතු කිරීමේ අසීමිත බලයක්ද තිබේ. ඒ නිසා අපේ පාසල් සංගීත පන්තිය තුළින් අප තෝරාගත යුත්තේ කුමක් ද?

වෙන් කිරීම ද?, එකතු කිරීම ද?

මගේ පිළිතුර ඉතා පැහැදිලිය. අපේ පාසල් සංගීත අධ්‍යාපනය දරුවාගේ ජාතිය නොව, දරුවාගේ හැකියාව සහ රුචිකත්වය හඳුනාගත යුතුය. එවිට පමණක් සංගීතය සැබෑ අර්ථයෙන්ම සෞන්දර්ය අධ්‍යාපනයක් වනු ඇත.

ආචාර්ය නිශ්ශංක අබේරත්න                     

අධ්‍යයනාංශ ප්‍රධාන,

දක්ෂිණ භාරතීය සංගීත අධ්‍යයනාංශය,

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.