ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ මාර්ග ආරක්ෂක නීති පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු‍ම වාහනවල මගීන් සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කෙරිණි. විශේෂම කරුණ වන්නේ මෙම නීතිය සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පැවති පසුබිමක ඉකුත් සඳුදා (21) අධිවේගී මාර්ගයේ වාහන 11 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවීමයි. නීතියට අනුකූලව මගීන් සියලු‍ දෙනා ආසන පටි පැලඳ සිටීම නිසා එම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවීය. මෙම සිදුවීමත් සමඟ ආසන පටි නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික වැදගත්කම සහ අගය පිළිබඳව සමස්ත සමාජයම දැඩි අවධානයක් යොමු කර ඇත.

අවුරුද්දකට ඩොලර් බිලියන 2.5 නැති කරන මාර්ග අනතුරු - මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ

අධිවේගී මාර්ගයේ ආසන පටි පැලඳීමේ නීතිය බලාත්මක කිරීමට හේතු වූ කාරණා පිළිබඳව කරුණු දක්වමින්, මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ  පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු දැනට රට මුහුණ දී සිටින විශාලතම මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසනයක් බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, බරපතළ අනතුරු හේතුවෙන් රට තුළ දැවැන්ත සමාජීය හා සෞඛ්‍යමය අර්බුදයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම දිවයින පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ සාමාන්‍ය රෝහල් ඇඳන් විශාල ප්‍රමාණයක් පිරී පවතින්නේ මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන්ගෙනි. මෙම තත්ත්වය රටේ ආර්ථිකයටද දැඩි ලෙස බලපාන බව පෙන්වා දෙන වෛද්‍යවරයා, ලෝක බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ත් 5% ත් අතර ප්‍රමාණයක් “ එනම් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් පමණ “ මාර්ග අනතුරු හේතුවෙන් වසරකට වියදම් වන බව සඳහන් කරයි. දැනට මාර්ග ආරක්ෂණ හා අදාළ කටයුතු සඳහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරෙන්නේ රුපියල් බිලියන 700ක පමණ මුදලක් වන අතර, එය පවතින හානියට සාපේක්ෂව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

මීට අමතරව, සුවසැරිය වැනි හදිසි ප්‍රතිකාර පද්ධති සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන පිරිවැය සහ පහසුකම් සීමිත වී ඇති පසුබිමක, අනතුරුවලට ලක්වන පිරිස් සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර පහසුකම් සැලසීම බරපතළ ගැටලු‍වක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙකු සදාකාලික ආබාධිතයන් බවට පත්වීම නිසා පුද්ගල ජීවිත මෙන්ම සමාජයේ පැවැත්මද දැඩි බිඳවැටීමකට ලක්වන බව වෛද්‍ය රුවන් ප්‍රකාශ කරයි. මේ සියලු‍ කරුණු සැලකිල්ලට ගනිමින්, එළඹෙන 2030 වසර වන විට මාර්ග අනතුරු 50%කින් පමණ අවම කරගැනීමට හැකි වුවහොත්, රටට අහිමි වන ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බවද ඔහු පෙන්වා දෙයි. එම තත්ත්වය ළඟා කර ගැනීමට නම් අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ඇතුළු සියලු‍ මාර්ග නීති කිසිදු තරාතිරමකින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ අවධාරණය කරයි.

ආසන පටි  පැළඳීමේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා - මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර

මෙය සිදු වන ආකාරය පිළිබඳව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර අප සමඟ මෙසේ අදහස් දැක්වීය.

”අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු‍ම මෝටර් රථවල මගීන් සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තියෙනවා. 2025 ජූනි 25 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් ඇතැම් මගී කාණ්ඩ සඳහා යම් යම් නිදහස් කිරීම් ලබා දී තිබුණද, ඉකුත් සෙනසුරාදා (19) සිට කිසිදු සහන හේතුවක් හෝ කරුණක් පදනම් කර නොගෙන මෙම ආසන පටි නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.”‍

මෙම නීතියට අනුව වාහනයේ රියදුරු මෙන්ම ඉදිරිපස යාබද අසුනේ ගමන් ගන්නා තැනැත්තාද අනිවාර්යයෙන් මිත්‍රී-පොයින්ට් ආසන පටි පැළඳිය යුතුයි. එමෙන්ම පසුපස අසුන්වල දෙපස ගමන් ගන්නා මගීන්ිත්‍රී-පොයින්ට්’ ආසන පටිද, මැද අසුනේ සිටින මගියා ලැප් බෙල්ට්’ හෙවත් උකුල් ආසන පටියද පැලඳීම අනිවාර්ය කර තිබේ.

වයස අවුරුදු 12ට අඩු ළමුන්, උස සෙන්ටිමීටර් 135ට අඩු පුද්ගලයන් මෙන්ම ආසන පටි පැලඳීම සුදුසු නොවන බවට වෛද්‍ය නිර්දේශ සහිත පුද්ගලයන් ආසන පටි පැලඳීමෙන් නිදහස් කර ඇති බවත්, එම නිදහස් කිරීම් ලබාදීමට තාක්ෂණික හා ආරක්ෂිත හේතු පදනම් වූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, මෙම නිදහස් කිරීම යනු ආරක්ෂිත උපක්‍රම භාවිත නොකිරීමට ලබා දුන් නිර්දේශයක් නොවන බව අවධාරණය කළ ඔහු, එවැනි පුද්ගලයන්ට පවා ආරක්ෂාව උදෙසා උකුල් ආසන පටිය භාවිත කළ හැකි බව සඳහන් කළේය.

නිසි පරිදි ආසන පටි පැලඳීම තුළින් මාරාන්තික ජීවිත හානි වළක්වා ගැනීමට විශාල රුකුලක් ලැබෙනවා - ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි

”ආසන පටියක් වාහනයකදී පලඳින්නේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනි. එය නිසි පරිදි පැලඳීම තුළින් මාරාන්තික ජීවිත හානි වළක්වා ගැනීමට විශාල රුකුලක් ලැබෙනවා. පසුගිය 21 වන දින අධිවේගී මාර්ගයේ සිදුවූ එම අනතුර ඊට හොඳම ප්‍රායෝගික උදාහරණයයි.”‍

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු‍ම රියැදුරන්ට මෙන්ම පසුපස අසුන්වල ගමන් ගන්නා අයද ඇතුළුව සියලු‍ම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇති අතර, මෙම නීතිය උල්ලංඝනය කරමින් ආසන පටි නොපලඳින රියැදුරාට සහ අදාළ මගියා යන දෙපාර්ශ්වයටම රුපියල් 1000ක දඩ මුදලක් නියම කිරීමට පියවර ගෙන තිබේ.

අධිවේගී මාර්ගයක වාහනයක් පැයට කිලෝමීටර 80 ත් 100 ත් අතර වේගයකින් ධාවනය වන අවස්ථාවකදී හදිසි තිරිංග යෙදීමක් නිසා ඇතිවන කම්පනයත් සමඟ මගියා ඉදිරියට විසිවීම සාමාන්‍ය භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයකි. මගියා ආසන පටි නොපැලඳ සිටියහොත් ඉදිරි ආසනවල හෝ වාහනයේ වින්ඩ් ස්ක්‍රීන් වීදුරුවේ ගැටීමෙන් බරපතළ තුවාල සහ මරණය පවා සිදුවිය හැකිය. ඒ පමණක් නොව, පිටුපසින් වේගයෙන් විසි වී එන මගියාගේ බර ඉදිරි අසුනේ සිටින රියැදුරාට හා අනිත් මගියාටද මාරාන්තික බලපෑමක් එල්ල කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සජිනි ගුරුගේ