
කිමිදුම් පාඨමාලා හැදෑරීමට පැමිණි විදේශිකයන් පිරිසක්
“අවුරුදු 10ට වැඩි, සෞඛ්‍ය සම්පන්න ඕනෑම කෙනෙකුට ඩයිවින් කරන්න පීනන්න පුළුවන් වෙන්නම අවශ්‍ය නැහැ. වයස අවුරුදු අටක දරුවන්ට අත්දැකීම් සහිත උපදේශකයකුගේ මඟපෙන්වීම යටතේ මීටර් හතරක් ගැඹුරට ආරක්ෂිතව යාමේ හැකියාව තියෙනවා. පීනන්න බැරි අයටත් අපි අපේ පළපුරුදු දක්ෂ කිමිදුම් පුහුණුකරුවන් සමඟ මුහුදු යට සිරි නැරඹීමේ අවස්ථාව තියෙනවා.”
මහා සාගරය යනු හුදෙක් රළ නගන දිය කඳක්ම පමණක් නොව එය තවමත් මිනිස් ඇසට හමු නොවූ දහසක් රහස් සඟවාගත් අසිරිමත් මන්දිරයකි. ගොඩබිම සීමා මායිම්වලින් ඔබ්බට ගොස්, නිල්වන් දිය පතුලේ සැඟවුණු ඒ නිහඬ පාරාදීසය සොයා යන ගමන හුදෙක් සංචාරයක්ම නොව එය සොබාදහම සමඟ කෙරෙන ආත්මීය සංවාදයකි. පසුගිය දවසක අපි ඒ අසිරිමත් ලෝකයට පිය මැන්නෙමු. මේ ඒ හුස්ම පවා නතර කරවන තරමේ සුන්දරත්වයක් සඟවාගත් මහා සයුරේ පතුල සොයා ගිය ත්‍රාසජනක චාරිකාවක මතක සටහනයි.
මුහුද යට විසිතුරු දසුන්
වර්ණවත් කොරල් උයන් සහ නිල් දිය යට සැඟවුණු චමත්කාරය වෙරළේ සිට බලන විට පෙනෙන නිල්වන් සාගරයට වඩා හාත්පසින්ම වෙනස් වර්ණවත් ලෝකයකි. හිරු කිරණ ජල තලය සිපගෙන පතුලටම ගලා එන විට මැවෙන දසුන ඕනෑම කෙනෙකු මවිතයට පත් කරන්නකි. විවිධ හැඩයේ සහ වර්ණවලින් යුත් කොරල් පර, මුහුද යට ඉදිවුණු මාලිගා වැනිය. ඒ අතරින් රිද්මයානුකූලව පීනන විසිතුරු මසුන් රංචු අපට පවසන්නේ ගොඩබිමේ කොහේවත් නොදකින නිදහසේ අසිරියයි. මේ දසුන් පෙළ දෙස බලා සිටීම සජීවී සිතුවමක කොටස්කරුවකු වීමක් හා සමානය. ඒ සජීවී සිතුවම නැරඹීමට නොඑසේ නම් කිමිදුම් ක්‍රීඩාව (Diving) සඳහා ලොව සුපතළ ස්ථානය ලෙස නම් දරන්නේ හික්කඩුව, උණවටුන, මිරිස්ස මෙන්ම නැගෙනහිර වෙරළේ නිලාවේලි වෙරළ තීරයන්ය. ඒ නොදුටු සුන්දර ලෝකය නරඹන්නට අපි තෝරා ගත්තේ උණවටුන වෙරළ තීරයයි.
වෙනදා මෙන්ම උණවටුනේ හෝටල් නිවාඩු නිකේතන කඩ සාප්පු මෙන්න වෙරළ තීරය ද විදෙස් සංචාරකයන්ගෙන් පිරී තිබිණ. අප කොළඹ සිට උණවටුනට ළඟා වනවිට උදෑසන 9.30 පසු විය. උණවටුන වෙරළ තීරය තරමක් කාර්ය බහුලය. මේ සුවිශේෂ ගමන සඳහා අප තෝරා ගත්තේ කිමිදුම් ක්ෂේත්‍රය පිළිබඳව වසර 20 කට වැඩි අත්දැකීම් ඇති කිමිදුම් උපදේශකවරයකු වන Sun Diving හි කේ. ඩිල්ෂාන් ය. අප ඉතා සෙනෙහසින් පිළිගත් ඔහු කිමිදුම් අත්දැකීමට දීමට ප්‍රථමව මේ ක්‍රියාදාමය පිළිබඳව අල්ලලාප සල්ලාපයේ යෙදුණේ තම වසර ගණනක අත්දැකීම් සමඟ ය.
වයස අවුරුදු අටේ සිට ඩිල්ෂාන්ගේ ගමන
මුහුදට ඇති ආදරයත්, සංචාරක කර්මාන්තය ගැන ඇති උනන්දුවත් එකට එක්කරමින්, උණවටුන මුහුදේ දිය මතුපිටින් පහළ සැඟවී ඇති වර්ණවත් ජීව ලෝකය, ලෝකය පුරා සිටින සංචාරකයන්ට අත්විඳීමට අවස්ථාව සලසා දෙන පුද්ගලයකු ලෙස ඩිල්ෂාන් විදේශිකයන් අතර ප්‍රසිද්ධියට පත් කිමිදුම් පුහුණුකරුවෙකි.
ඔහුගේ මඟ පෙන්වීමත් ආරක්ෂිත සූදානමත් සමඟ, කිමිදුම් අත්දැකීමක් ලබාගන්නා සංචාරකයන් මෙන්ම කිමිදුම් පිළිබඳව අධ්‍යාපනික සහ වෘත්තීය මට්ටමින් ඉගෙන ගන්නා විදේශිකයන් ද ඔහු සොයා එන්නේ ඩිල්ෂාන්ගේ වසර ගණනක කිමිදුම් වෘත්තිය තුළ නොමඳ විශ්වාසයත් පෙරදැරි කරගෙනය.
“පුංචි කාලේ ඉඳලාම මගේ ජීවිතේ ගෙවුණේ මහ මුහුදත් එක්ක’ මගේ තාත්තාගේ රස්සාව වුණේ මුහුදේ කිමිදී විසිතුරු මත්ස්‍ය පැටවුන් අල්ලා විකිණීම. මමත් වයස අවුරුදු අටේ ඉඳලාම තාත්තාගේ පස්සේ වැටිලා මේ මුහුදෙම තමයි හිටියේ. උණවටුන මුහුද පතුල හරියට මගේ දෙවැනි ගෙදර වගේ.”

කිමිදුම් උපකරණ
මහ මුහුද ඩිල්ෂාන්ට පාසලක් වුණේ ගුරුකුලයකට යාමට පෙරමය. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඩිල්ෂාන් අධ්‍යාපනයට වඩා දස්කම් පෑවේ පිහිනීමටය. අධ්‍යපනයෙන් පසු ජීවිතය පිළිබඳ වැඩිදුර අත්දැකීම් සොයා ඔහු කොළඹ වරායේ පුහුණුවීම් ලබා, නාවිකයෙක් ලෙස නැව් සේවයට එක්විය. වසර පහකට ආසන්න කාලයක් නාවිකයෙකු ලෙස සේවය කළ ඩිල්ෂාන්, එම කාලයෙහි ලැබූ අත්දැකීම් සහ උපයාගත් මුදල් ඔහුගේම සිහිනයක් සැබෑ කිරීමට යොදා ගත්තේය. ඔහුගේ සිහිනය වූයේ කිමිදුම් උපදේශකවරයකු ලෙස තමන්ගේම කිමිදුම් මධ්‍යස්ථානයක් වූ sun diving” ආරම්භ කිරීමය.
“මම මුහුදේ පීනන්න පුරුදු වුණේ කිසිම කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව. තාත්තා පීනනවා මුලින් බලා හිටියා. ඒ විදිහට තමයි මමත් පිහිනීම පුරුදු වුණේ. ගැඹුරු මුහුදට යද්දී කන් රිදෙනවා. ඒ දේවල් මම කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. කිමිදුම් පුහුණුකරුවකු වෙනවා කියන්නේ බැරෑරුම් විෂයක් බව මම පස්සේ දැන ගත්තා. එතැන ඉඳලා මම මුහුදේ නීති, ශරීරයේ ප්‍රතිචාර සහ ආරක්ෂිත කිමිදුම් රහස් සියල්ල සෙමින් සෙමින් ඉගෙන ගත්තා.
නැව් සේවයට එක් වීමෙන් කිමිදුම් ශිල්පියෙකු ලෙස හැකියාව ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලැබුණා. වසර කිහිපයක් පුරා මුහුද මැද ජීවිතය ගත කරමින්, විවිධ තත්ත්වයන්ට මුහුණ දෙමින්, එකතු කරගත්ත අද්දැකීම් එක්ක වෘත්තීයමය මට්ටමින් ඉදිරියට කිමිදුම් පුහුණුකරුවකු වෙන්න මම ඉගෙන ගත්තා. එතැනින් පස්සේ මම කිමිදුම් උපදේශකවරයකු ලෙස වෘත්තිය මට්ටමින් වැඩ කරන්නත් අධ්‍යාපනික දැනුම ලබා ගත්තා. පිළිගත් ආයතනයකින් බලපත්‍ර ලබාගෙන, මගේ දක්ෂතාව නිල වශයෙන්ම තහවුරු කර ගැනීමට සමත් වුණා.”
කිමිදුම් ඇඳුම් කට්ටලයෙන් සැරසී, ඔක්සිජන් ටැංකියේ බරත් සමඟ බෝට්ටුවට ගොඩවන විට දැනුණේ චකිතයක් මිශ්‍ර වූ කුතුහලයකි. බෝට්ටුව වෙරළෙන් මඳක් ඈතට මහමුහුද මැදට පැමිණි විට චකිතය දෙගුණ තෙගුණ විය. උපදෙස් මාලාවට සවන් දී “බැක්වර්ඩ් රෝල්” (Backward Roll) ක්‍රමයට මුහුදට පනින විට ඇසුණේ දිය බුබුළුවල රාවය පමණි. මුහුදු මට්ටමෙන් අඩි කිහිපයක් පහළට යන විට, ලෝකය ම නිශ්ශබ්ද විය.
උණවටුන සිහින ලෝකය
ඩිල්ෂාන්ගේ දැනුමට සහ පළපුරුද්දට යෝද ශක්තිය වූයේ උණවටුන මුහුදය. එහි ගැඹුරු ජලයේ කිමිදී, රළ අතර ජීවිතය සමඟ හුරු වෙමින්, ඔහු වෘත්තිය වශයෙන් හොඳ පුහුණුවක් ලබා ගත්තේය. අද වන විට, ඔහු ආරම්භ කළ “sun diving” කිමිදුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය අනුමත කළ ලෝකයේ රටවල් ගණනාවක විදේශිකයක්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්වී ඇත.
“කිමිදුම් හැකියාව තිබුණත් Diving කරන්න අනුමැතිය ලබා ගැනීම සරල ගමනක් නෙමේ. වසර 11ක් පුරා අඛණ්ඩ උත්සාහය, කැපවීම සහ අභියෝග රැසක් ජය ගනිමින් තමයි මම අද ලෝකයේ රටවල් අතරත් දක්ෂ කිමිදුම් උපදේශකයකු ලෙස මේ තත්ත්වයට ආවේ. අද, මගේ කිමිදුම් මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ සේවා සපයන ස්ථානයක් ලෙස ඉහළ පිළිගැනීමක් තියෙනවා. කිමිදුම් පාඨමාලා හදාරන විදේශිකයන් අද මගේ මධ්‍යස්ථානයට එනවා. එහිදී, ජල පීඩනය, හුස්ම පාලනය, ආරක්ෂාව සහ මුහුදු පරිසරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම සිදු කරනවා. අපි“sun diving” මගින් එම සියලු පාඨමාලා සම්පූර්ණ කළ පසු පිළිගත් ජාත්‍යන්තර සහතිකයක් ලබා දෙනවා.’’
ඔබත් කිමිදෙන්න යනවා නම්
Scuba Diving හි සරල අරුත ශ්වසන උපකරණ සහ අනෙකුත් උපකරණ යොදාගෙන මනා පුහුණුවකින් පසුව මුහුද පතුලට ගොස් විවිධ කොරල් පර මාළු වර්ග කැස්බෑ විශේෂ ගවේශනය කිරීමයි. උණවටුනේ ගැඹුරු මුහුදේ ගිළුණු නැව් ගවේෂණය කිරීමේ හැකියාවත් ලැබෙයි.
‘‘අවුරුදු 10ට වැඩි සෞඛ්‍ය සම්පන්න ඕනෑම කෙනෙකුට ඩයිවින් කරන්න පීනන්න පුළුවන් වෙන්නම අවශ්‍ය නැහැ. වයස අවුරුදු අටක දරුවන්ට අත්දැකීම් සහිත උපදේශකයකුගේ මඟපෙන්වීම යටතේ මීටර් හතරක් ගැඹුරට ආරක්ෂිතව යාමට හැකියාව තියෙනවා. පීනන්න බැරි අයටත් අපි අපේ පළපුරුදු දක්ෂ කිමිදුම් පුහුණුකරුවන් සමඟ මුහුදු යට සිරි නැරඹීමේ අවස්ථාව තියෙනවා.

කිමිදුම් උපදේශක කේ. ඩිල්ෂාන්
ඒ වගේම මුහුදට එක්ක යන්න කලින් මුහුද ගැන, කිමිදුම් කට්ටලය ගැන අපි හොඳ දැනුමක් ලබා දෙනවා. ඊට පස්සේ මේ කිට් එක ඇඳලා නොගැඹුරු මුහුදට ගිහින් සංඥා ටික, ඔක්සිජන් එක රඳවා ගන්න විදිහ මේ සියල්ලම ගැන හොඳ දැනුමක් දීලා තමයි ගැඹුරු මුහුද සංචාරයට රැගෙන යන්නේ. කිමිදුම්කරු කිසිම වෙලාවක පිහිනන්න බැරි කෙනෙකු අත්හරින්නේ නැහැ. ඒ නිසා ආරක්ෂාව සියයට සියක්ම තහවුරු කරනවා. අපි මුහුදු යට විනාඩි 45 ක සංචාරයක් ලබා දෙනවා. විශේෂයෙන් කියන්න ඕනෑ, කිමිදුම් කරන්න ආසා නම් හොඳ කිමිදුම් පාසලක් (Dive School) සහතික ලත් පළපුරුදු උපදේශකවරුන් සිටින තැනක් තෝරා ගන්න. සොබාදහමට ගරු කරන්න. කොරල් පර ස්පර්ශ කිරීමෙන් හෝ මසුන්ට ආහාර දීමෙන් වළකින්න.” මුහුද යට සැඟවුණු පාරාදීසයේ ත්‍රාසය සහ කුතුහලය මුසු වූ මොහොතක
ඩිල්ශාන්ගේ කතාව අතරතුර කිමිදුම් කට්ටලයක් රැගත් කිමිදුම් පුහුණුකරුවකු වන කවීෂ් අප වෙත පැමිණ අවශ්‍ය ඇඳුම සහ උපකරණ පිළිබඳ උපදෙස් ලබා දුන්නේය. ඩිල්ෂාන් කතාවට තිත තබා මුහුදු ගමනට සූදානම් වූයේ කාල වේලාව හරස් වන නිසාවෙනි.
“අපි මුලින්ම සොඛ්‍ය තත්ත්වය ගැන අයැදුම්පතක් තියෙනවා පුරවන්න. එහි සඳහන් වෙන ශරීරයේ බර අනුව තමයි අපි කිමිදුම් කට්ටලය සකස් කරන්නේ. “ ඒ කවීෂ් ගේ හඬයි.
ආධුනිකයකුට, “Sun Diving” වෙත පැමිණෙන මොහොතේ සිටම අලුත් ලෝකයක දොරටුවක් විවර වේ. එය හුදෙක් ජලයට පනින්නට පෙර සූදානමක් නොවෙයි. මුහුද යට ජීවිතය සමඟ හමුවීමට සිදු කරන සියල්ල පුහුණුවකින් දැනුම්වත් කරයි. ඉන් බියක් වෙනුවට විශ්වාසයක් ජනනය කරයි. ඉන්පසුව, ජලයට යටින් ගමන් කරන විට කළ යුතු දේ, නොකළ යුතු දේ සහ ආරක්ෂිතව හැසිරීම පිළිබඳ මූලික දැනුම සවිස්තරාත්මකව ඉදිරිපත් කරයි. මුහුද යට, වචනවලට ඉඩක් නැත. එහි සංවාදය සිදු වන්නේ නිහඬ සංඥා භාෂාවකින්ය. අත් හරහා, ඇඟිලි හරහා, ඇස්වලින්—එක් සංඥාවක් පවා ජීවිතයකට වටිනා පණිවිඩයක් වෙයි. ඒ සඳහා නිශ්චිත සංඥා පද්ධතියක් ඉගෙනගැනීම, කිමිදුම් ලෝකයට ඇතුළු වීමේ මුල් පියවරක් ලෙස ඔවුහු පෙන්වා දෙති.
ජීවිත ආරක්ෂාවට ඔවුන් දෙන ප්‍රමුඛතාව ද විශේෂය. සෑම බෝට්ටුවක්ම රක්ෂණය කර ඇති අතර එහි ගමන් කරන සෑම සංචාරකයකුටම ජීවිත රක්ෂණ ආවරණයක් සපයයි. ශරීර බරට අනුව වෙනස්වන වායු ටැංකිය, මුහුද යට හුස්ම ගැනීමට අවශ්‍ය වායුව සපයයි. ගැඹුර වැඩිවන තරමට හුස්ම ගැනීමේ වේගය වෙනස් වන අතර එය පාලනය කරන්නේ රෙගුලේටරය හරහාය. මේ සියල්ල සමඟ, කිමිදුම්කරුවා පලඳින විශේෂ ආරක්ෂිත ඇඳුම—“වෙට් සූට්”—මුහුදේ ගැඹුරේ ඇති සීතලෙන් ශරීරය ආරක්ෂා කරයි.
කිමිදුම් ඇඳුම් කට්ටලයෙන් සැරසී, ඔක්සිජන් ටැංකියේ බරත් සමඟ බෝට්ටුවට ගොඩවන විට දැනුණේ චකිතයක් මිශ්‍ර වූ කුතුහලයකි. බෝට්ටුව වෙරළෙන් මඳක් ඈතට මහමුහුද මැදට පැමිණි විට චකිතය දෙගුණ තෙගුණ විය. උපදෙස් මාලාවට සවන් දී “බැක්වර්ඩ් රෝල්” (Backward Roll) ක්‍රමයට මුහුදට පනින විට ඇසුණේ දිය බුබුළුවල රාවය පමණි. මුහුදු මට්ටමෙන් අඩි කිහිපයක් පහළට යන විට, ලෝකය ම නිශ්ශබ්ද විය.
ගොඩබිමේදී දැනෙන ගුරුත්වාකර්ෂණයෙන් මිදී, ජලයේ පාවෙමින් ඉදිරියට යන විට දැනෙන්නේ අමුතුම නිදහසකි. මුලින් යම් බියක් දැනුණත්, ගැඹුරට යන්න යන්න ඒ බිය හැරෙන්නේ පුදුමාකාර කුතුහලයකටය.

අපට කිමිදීමට මඟ පෙන්වූ කිමිදුම් පුහුණුකරු කවීෂ්
මුහුදේ මතුපිට රළ හඬ පසුපසට මැකෙමින් යන විට, පහළට පියවර තබන ඒ මොහොතේ, හදවතෙහි ඇතිවන්නේ නොහඳුනන ගැස්මකි. ඒ ගැස්ම මුලදී නොසන්සුන් වුවද ඇස් හෙමින් විවර වන විට ක්ෂණයකින් සන්සුන් වන්නේ ඔබ ඉදිරියේ දිගහැරෙන සුරංගනා ලෝකයේ දැකීමෙනි.
පැරණි නටබුන් කාලය විසින් අමතක කළ වස්තු මුහුදේ තුරුලේ නිදන කතාවක් වගේ පෙනේ. ඒවා මත වැවුණු පැහැති කොරල්, සුවඳ නැති මල්වතු මෙන් මුහුද යට අලංකාර කරයි.
වෛවර්ණ මත්ස්‍යයන්ට අමතරව උණවටුන මුහුදු තීරයේ කිමිදෙන්නන්ට මුහුදු පතුලේ නැරඹිය හැකි සුවිශේෂම සහ වටිනාම අත්දැකීම වන්නේ වසර ගණනාවක් තිස්සේ මුහුදු පතුලේ සැඟවී ඇති නැව් සුන්බුන් නැරඹීමයි. නැවේ සුන්බුන් අද වන විට මසුන්ගේ රාජධානියක් බවට පත්ව ඇත. පාසිවලින් වැසුණු, මලකෑ යකඩ කූඩු අතරින් පිහිනා යන විට දැනෙන්නේ ඉපැරණි මුහුදු කොල්ලකරුවන්ගේ කතාවකට මැදි වී සිටිනවා වැනි හැඟීමකි. මුහුදු බත් වූ නැවේ කොටස් අතරින් පිහිනා යන විට බියක් නොදැනුණාම නොවේ.
සද්ද නැති ලෝකයක, ඇසෙන්නේ තමන්ගේම හුස්ම සහ හදවතේ නාදය පමණි. මුහුද යටට පළමුවරට කිමිදෙන කෙනකුට එය අමතක නොවන දර්ශනයක් පමණක් නොව හදවත තුළ සදා ජීවිතයක් පවතින සිහිනයක් බවට පත්වෙන අත්දැකීමකි.
අවසානයේ දී, මුහුද යටින් උදා වූ ඒ අපූරු සුරංගනා ලෝකයෙන් මතුපිටට නැඟෙන විට, හදවත තුළ ඉතිරි වන්නේ එකම හැඟීමක් පමණි. ඒ අද දැකගත් සුන්දරත්වය අනාගතයටත් රැක ගන්නට තිබෙන වගකීමයි.
ඩයිවින් එහෙම නැත්නම් මුහුදු යට කිමිදීමේ අත්දැකීම ජීවිතයේ එක් වතාවක් හෝ විඳගත යුතුමය. සාගර පතුලේ ඇති මනස්කාන්ත දසුන් පෙළ ඔබේ දෑසින්ම දකින තුරු එහි ඇති ලස්සන වචනවලින් විස්තර කිරීම අපහසුය.
උණවුටන යට සැඟවුණු මේ මායා ලෝකය, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දරය. එය ජීවිත කාලයටම අමතක නොවන වික්‍රමයකි.
නදීශා අතුකෝරළ
දිශානි ජයමාලි
කරුණාරත්න




ගැඹුරැ මුහුදට යාමට පෙර සඥා පිලිබද දැනුම ලබාදිම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd