ලක්බිමේ නම තැබූ දියණියෝ  

කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යයන අංශයේ,  
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාරිකා වික්‍රමරත්න  

 

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දස්කම් දක්වන්නන් කොතෙකුත් සිටියද ක්‍රීඩාව සම්බන්ධයෙන් අධ්‍යාපනික දැනුම ලබාගනිමින් ඉන් ඉහළට ගිය පිරිස ඇත්තේ අල්ප වශයෙනි. ක්‍රීඩාව වැනි විෂයන් සම්බන්ධව ඩිප්ලෝමා, දර්ශනපති උපාධි, ශාස්ත්‍රපති උපාධි මෙරට තුළ තිබේද යන්නත් සමහරකුට පුදුමයකි. එවන් පසුබිමක් තුළ අද අප ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතාවයෙන් සහ එම දැනුමෙන් ඉහළට ගිය සුවිශේෂී ලියක් පිළිබඳව තොරතුරු ගෙන එන්නට සිතුවා.  


ඇය මෙරට විශ්වවිද්‍යාලයක් තුළ ක්‍රීඩා විද්‍යාව හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳව පත්වූ පළමු ක්‍රීඩා කථිකාචාර්යවරියයි.  


ක්‍රීඩා විද්‍යාවේ අංශයක් වන සහජීවනය සහ යහපැවැත්ම පිළිබඳව ආචාර්ය උපාධියක්ද හිමි ඇය කාන්තාවක් ලෙස මෙරට ක්‍රීඩා අධ්‍යාපන ක්ෂේත්‍රයට සැබවින්ම ආඩම්බරයකි. පිරිමියාට සාපේක්ෂව ගැහැණිය අරමුණු කරා ළඟා වන්නේ බොහෝ බාධක කම්කටොලු මැදිනි. මවක්, බිරිඳක් මෙන්ම රැකියාව සහ සමාජ පරිසරයේ අවශ්‍යතා හිසේ පටවාගත් ඇය සැමවිටම බාහිරින් දකින ළඳ බොළඳ ලලනාවට වඩා ශක්තිමත් ගැහැණියක යැයි ඇයගේ කතාව උදාහරණ දෙනු ඇත.  


ආත්ම ශක්තියෙන් පිරිපුන්, ජීවිතය ධනාත්මකව ගොඩනගා ගැනීමට දිරිය ගත් ගැහැනුන් අතර මේ දිගහැරෙන්නේ තවත් එවන් ලියකගේ කතාවකි. සිය සහජ දක්ෂතා වර්ධනය කරගනිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි දක්ෂතා දක්වමින් ක්‍රීඩාව පිළිබඳව අධ්‍යාපනික දැනුමේ ද පරතෙරටම යමින් රාජ්‍ය සේවයේ ඉහළ පුටුවට ගිය ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී.ඩී.වී. චාරිකා වික්‍රමරත්න මහත්මියයි.  


දරුවන් පස්දෙනකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සී වූ ඇය කුඩා කල සිටම අධ්‍යාපනයට වඩා ක්‍රීඩාවට උපන් හපන්කම් කීය. පානදුර ප්‍රදේශයේ උපන්න ඇය පියාගේ රැකියා ස්ථාන මාරුවත් සමග කුරුණෑගල ප්‍රදේශයට පැමිණීම සිදුවන්නේ කුඩා අවධියේදීමය.  


මගේ පියා මහජන සෞඛ්‍ය නිලධාරීවරයෙක්. අම්මා ගුරුවරියක්. අපේ පවුලේ මට අයියලා දෙන්නෙකුයි, අක්කලා දෙන්නෙකුයි තමයි ඉන්නේ. පවුලේ බඩපිස්සි විදිහට සහෝදර සහෝදරියන්ගෙන්, නෑදෑ හිතවතුන්ගෙන් ගොඩක් ආදරය ලැබුණු කෙනෙක් මම. අයියලා අක්කලා අතරේම හැදුන නිසා මම ටිකක් දඟ චරිතයක්. හැබැයි මම මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා හරිම ක්‍රියාශීලී කෙනෙක්. කුරුණෑගල නගරය කිට්ටුව අපි ජීවත් වුණු නිසා අපට දුවන්න පනින්න ලොකුවට ඉඩකඩ තිබුණේ නැහැ. ඒ දවස්වල මම ගස් උඩ නගින්න හරි රුසියා. ගෑනු දරුවෙක් වුණාට මම එක තැනකට වෙලා නම් හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි ගුටිකන තරම් නම් දඟ වැඩ කරලා නැහැ. දඟ මල්ලක් වුණාට මම ගොඩක් සංවේදී චරිතයක්.  


මගේ පාසල වුණේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය. ප්‍රාථමිකයේ ඉඳලා විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක්ම මම ඉගෙනගත්තේ මලියදේව බාලිකා විද්‍යාලයේ. මගේ මව්පියන්ගෙන් පස්සේ ජීවිතේ ගොඩදාපු මගේ ජීවිතේ පාර වෙනස් කරපු මහා යෝධ සෙවණැල්ල වූයේ කුරුණෑගල මලියදේවි බාලිකාව සහ ඒ විද්‍යාලයේ එවකට හිටපු විදුහල්පතිනිය ලීලා හේවාවසම් මහත්මිය. ඒ වගේම මගේ දක්ෂතා හඳුනගෙන ක්‍රීඩාවේ ඉහළට යන්න පාර හදලා දුන් මගේ පුහුණු උපදේශකවරුන්ටත් අධ්‍යාපනය පැත්තෙන් අකුරක් හරි මට උගන්නපු ගුරුවරුන්ට මම අදටත් පිං දෙනවා.  


කුඩා කල සිටම නෙට්බෝල් ක්‍රීඩාවට දක්ෂතා දක්වමින් පාසලේ කැපීපෙනෙන චරිතයක් වූ ඇය පොතපතේ අධ්‍යාපනයට වඩා ජීවිතය කරගන්නේ ක්‍රීඩාවයි.  


ඉස්සර මම ටිකක් ලැජ්ජාශීලී ළමයෙක්. ඉදිරිපත් වෙන්න ලැජ්ජයි. මට මතකයි මම දෙක වසරේ ඉද්දි පළමු වසරට ළමයි ගන්න උත්සවයේ නැටුමකට පාසලෙන්ම එක ළමයයි තෝරගත්තේ. ඒ ළමයා වුණේ මම. අම්මාගේ සාරියකුත් ඇඳගෙන එදා මම ඒ අංගය ඉදිරිපත් කළාට පස්සේ ලැජ්ජාශීලීකම නැතිවුණා. ඒ තමයි මම පිරිසක් ඉදිරියට ආ පළමු දවස.  


මම මුලින්ම ක්‍රීඩාවට එන්නේ හතේ පන්තියේදී. නෙට්බෝල් ක්‍රීඩාවේ නියැලෙමින් පාසලේ තරගවලට සහභාගි වෙමින් ඉන්නකොට 15 පහළ නෙට්බෝල් කණ්ඩායමට මාව තේරුණා. එතනින් තමයි මම නෙට්බෝල් ජීවිතේ පටන් ගත්තේ. එතැනින් පස්සේ දිගටම මම නෙට්බෝල් සෙල්ලම් කළා. 

 
එවකට මලියදේව බාලිකාවේ නෙට්බෝල් කණ්ඩායමේ කැපී පෙනෙන ශිෂ්‍යාවක වූ ඇය කෙටිකලකදී කණ්ඩායම් නායිකාව විය. එතැන් පටන් ජාතික පාසල් ශූරතා කණ්ඩායම ආදී පාසල් මට්ටමින් විවිධ වූ පළාත් ජාතික, නෙට්බෝල් කණ්ඩායම්වල නායකත්වය මෙන්ම දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස ඇගයීමට ලක්වූ අවස්ථාද බොහෝය. එමෙන්ම ඇයගේ පාසල් ජීවිතය වැඩි වේලාවක් ගතකළේ පන්ති කාමරයේ නොව ක්‍රීඩාපිටියේය.  


ඇත්තම කතාව නම් මම ලොකුවට පාඩම් කරපු ළමයෙක් නෙමෙයි. ආසාවෙන් ඉස්කෝලේ ගියේ ක්‍රීඩා කරන්න තිබුණු ආසාව නිසාමයි. ඉස්කෝලේ යන්න කම්මැලි වුණාට උදේ 6 නෙට්බෝල් පුහුණුවීම්වලට යන්න නම් කවදාවත් වරද්දන්නේ නැහැ. හවසටත් එහෙමයි. සෙල්ලම් කරන්න ගියහම ගෙදරක් තියෙනවා රෑ වෙනවා කියලා මතකවත් නැහැ.  


අපේ අම්මාට මාව ටියුෂන් යවන්න ඕන වුණත් මගේ නෙට්බෝල් සෙල්ලමත් එක්ක මාව ටියුෂන් ක්ලාස් එකකටවත් යවාගන්න ලැබුණේ නැහැ. සාමාන්‍ය පෙළ කරද්දි නම් ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි, විෂයන් තුනට විතරක් අම්මා මාව ටියුෂන් යැව්වේ බලෙන්. සෙල්ලම විතරක් හරියන්නේ නැහැ කියලා අම්මා දෝස්මුර තියපු දවසුත් තිබුණා.  


ඒ දවස්වල නෙට්බෝල්වලට අමතරව බාලදක්ෂ කණ්ඩායමෙත් මම හිටියා. ඒ කාලේ මගේ ජීවිතේ වෙලා තිබුණේ බාලදක්ෂ සහ නෙට්බෝල් ක්‍රීඩාව විතරයි. කොයි වෙලාවෙත් පන්තියේ නැහැ කියලා සමහර දවස්වලට ගුරුවරුන්ගෙන් පළුයන්න බැනුම් අහලා තියෙනවා. ඒවෙනකොට ක්‍රීඩාව ඇඟෙන් ගලවන්න බැරි තරමට ජීර්ණය වෙලා තිබුණේ. සමහර දවසට උදේ පුහුණුවීම් නතර කරන්න හැදුවත් අපි කැමති වෙන්නේ නැහැ. තව කාලපරිච්ඡේදයක් ඉවර වෙනකම් කොහොමහරි පිට්ටනියේ සෙල්ලම් කරනවා. විෂයන් උගන්වන ගුරුවරුන්ට ඉතින් අපි එක්ක හරිම තරහයි. ඇයි පිට්ටනියෙමනේ. ඉසේ කෙස් ගානට ගුරුවරු දඬුවම් දීලා තියෙනවා. බැලුවොත් පිට්ටනියෙමයි කියලා.  


ඒක හරිම සුන්දර කාලයක්. කොච්චර දඬුවම් කළත් ඒ ගුරුවරු එක්ක කවදාවත් හිතේ තරහක් ඇති වෙලා නැහැ. ඒ කාලේ පිට්ටනියේම සිටි ළමයෙක් නිසා සමහර විෂයන් උගන්නපු ගුරුවරු හිතුවෙම මම විභාගය පාස් වෙන එකක් නැහැ කියලා. ඒත් විදුහල්පතිවරිය මාව නිතරම අගේ කළා. බාහිර වැඩ කළත් පොතපතටත් එතුමිය මාව පෙළඹෙව්වා. ලීලා හේවාවසම් විදුහල්පතිතුමිය වගේ විදුහල්පතිවරියක් හමුවෙන්නේ හරිම කලාතුරකින්. එතුමියට අදටත් මං පිං දෙනවා. ජීවි​තේ හරි ලස්සනට හරි පාරේ යන්න මාර්ගය හදලා දුන්නේ ඇය.  


කොයිතරම් පිට්ටනියේ කාලය ගෙව්වත් සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණාම ලීලා මැඩම් (විදුහල්පතිනිය) මට විද්‍යා විෂයන් වලින් උසස් පෙළ කරන්න කියලා බල කළා. ඒත් මට ඕන වුණේ කලා විෂයන් කරන්න.  
පවුලේ බඩපිස්සි නිසාම කෙළිදෙළෙන් ජීවිතය ගත කළ ඇයගේ ක්‍රීඩා ජීවිතයට වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් යම් යම් බාධා එල්ල විය. එහෙත් ඇය ඇයගේ අරමුණ ඔස්සේ ගමන් කළේ දැඩි ආත්ම විශ්වාසයකිනි.  


මම ක්‍රීඩා කරනවට අම්මාගෙන් නම් පොඩ්ඩක්වත් බාධාවක් ඇතිවුණේ නැහැ. අම්මා මට ගොඩක් සහයෝගය දුන්නා. හැබැයි අයියලා දෙන්නාට නම් මම මොනවා කරගනිවිද කියලා දෙගිඩියාවක් තිබුණා. මොකද ඒ දෙන්නා නිවාඩුවට ගෙදර එන කිසිම වෙලාවක මම ගෙදර නැහැ. පුහුණුවීම් කියයි, නෙට්බෝල් තරගයක් කියයි. ඉතින් නිතර ගෙදර නැති නිසා අයියලා දෙන්නට නම් මං ගැන පොඩි බයක් තිබුණා. හැබැයි අම්මා නම් මට කවදාවත් ක්‍රීඩා කරන්න එපා කියලා කිව්වේ නැහැ.  


ක්‍රීඩාව මගේ ජීවිතේට කොයිතරම් බද්ධ වෙලාද කිව්වොත් මම දවසක් අම්මාට කිව්වා එතකොට මම අටේ පන්තියේ හිටියේ. අම්මේ මම හදිසියෙවත් මැරුණොත් මගේ මිනී පෙට්ටියේ එක පැත්තක නෙට්බෝල් ඇඳුමයි අනිත් පැත්තේ නෙට්බෝලයයි තියන්න කියලා කිව්වාම, අම්මා මට පොඩ්ඩක්වත් බැන්නේ නැහැ. එයා හිනාවුණා විතරයි. නෙට්බෝල් කියන්නෙ මගේ ජීවිතේ එක කෑල්ලක් වගේ.  


ලොකු අක්කා ගුරුවරියක් ලොකු අක්කාත් මම ක්‍රීඩා කරනවට එ් තරම් කැමැත්තක් තිබුණේ නැහැ. මම ඉතින් ඒවා බාධාවක් කරගත්තේ නැහැ. අයියලා අක්කලා පොඩි පොඩි විරෝධතා පෙන්නුවාට අම්මා මගේ පැත්තේ හිටපු නිසා මම නෙට්බෝල් අතෑරියේ නැහැ. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයට වඩා උසස් පෙළ විභාගයට නම් ටිකක් මහන්සි වෙලා වැඩ කළා. ඇත්තට මට උසස් පෙළ පන්තියෙදී ගොඩක් හොඳ ගුරු දෙවිවරු ටිකක් මුණගැහුණා.  


උසස් පෙළින් පසු කැලණිය විශ්වවිද්‍යාලයට වරම් ලැබූ ඇය විශ්වවිද්‍යාලය තුළද නෙට්බෝල් දක්ෂතාව ඔප්නංවා ගැනීමට අවස්ථාව හිමිකර ගත්තාය. විශ්වවිද්‍යාලය තුළ නෙට්බෝල් සහ බේස්බෝල් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ ඇයට වසර 2 ක් විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිවිය.  


පාසල් දිවිය වගේම මට අතිසුන්දර විශ්වවිද්‍යාල ජීවිතයකුත් තිබුණා. ඒ අවුරුදු තුනත් ගෙවුණේ ක්‍රීඩාවෙන්ම තමයි. කොහොම හරි උපාධිය අවසන් කරලා රැකියාවක් නැතුව මාස 8 ක් මම ගෙදර හිටියා. ඔය අතරේ මියුසියස් විද්‍යාලයේ මට ගුරු පත්වීමක් ලැබුණා. ඒ තමයි මගේ පළමු පත්වීම. කැලණිය විශ්වවිද්‍යාලයේ අවුරුද්දක් ගුරු සේවයේ ඉඳලා ශාරීරික අධ්‍යාපන අංශයේ ශාරීරික අධ්‍යාපන උපදේශක තනතුරට අයදුම් කළා. ශාරීරික අධ්‍යාපන උපදේශන සේවයේ මම අවුරුදු අටක් සේවය කළා. ඒ ඉන්න අතරේ කැලණිය විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කළා ක්‍රීඩා විද්‍යාව හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය කියලා පීඨයක්. අධ්‍යාපන අංශයට කථිකාචාර්යවරු ගන්නවා කියලා දැන්වීමක් පළවෙලා තිබුණා. මටත් හිතුනා ඒකට අයදුම් කරන්න. කථිකාචාර්යවරියක් විදිහට මාව තේරුණාට පස්සේ මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා.  


ක්‍රීඩා විද්‍යාව හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයට ක්‍රීඩාව සම්බන්ධයෙන් කථිකාචාර්යවරියක් විදිහට පත්වූ පළමු කාන්තාව නිසාම මට සියලුම දෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.  


වැඩිදෙනකු යොමු නොවන ක්‍රීඩාව සම්බන්ධ විෂය පද්ධතියක් හැදෑරීමට සිතුවේ ඇයි? පැනය මාගෙනි.  
එකක් ක්‍රීඩාවට තිබුණු අතිශය කැමැත්ත. ක්‍රීඩාව සම්බන්ධ කථිකාචාර්යවරියක් ලෙස පත්වීම මට ලොකු අභියෝගයක් වුණා. අදටත් ඒ අභියෝගය තියෙනවා. ඒත් ක්‍රීඩාවට තියෙන කැමැත්ත නිසාම මේකේ රැඳිලා ඉන්න ආත්මවිශ්වාසය මා විසින්ම ගොඩනගාගෙන තියෙනවා. මුලින්ම නම් මේ වගේ විෂයක් ඉගෙන ගන්න දරුවන් පෙළඹෙනවා අඩුයි. මොකද මේ වගේ විෂයක් කරලා රස්සාවක් තියේවිද කියන ගැටලුව තියෙනවා. හැබැයි දැන් වෙනකොට නම් මේ විෂය කෙරෙහි ලොකු ඇල්මක් දරුවන් තුළ ඇතිවෙලා තියෙනවා. ක්‍රීඩා කරන්න ඕන අපි තරගයටවත්, දිනන්නවත් නෙමෙයි අපේ යහපැවැත්මට වගේම නිරෝගිකම තියාගන්න. දැන් පාසල්වල දරුවෝ ක්‍රීඩාවෙන් මිදිලා ඉන්නේ. විභාග පාස් කරන එකම විතරයි දරුවන්ගේ ඔළුවලට දෙමාපියෝ දාලා තියෙන්නේ. ක්‍රීඩාව ජීවිතයට හරිම වැදගත්. එහෙම වුණේ නැතිනම් විභාග පාස් කරපු, ගුණධර්ම අඩු, ආත්මාර්ථකාමී ලෙඩ රෝග පිරුණු දරු පරපුරක් තමයි අනාගතේ මේ රටේ බිහිවෙන්නේ.  
ඇය ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වනවිට පශ්චාත් උපාධිය, ඩිප්ලෝමා මෙන්ම ශාස්ත්‍රපති උපාධි ලබා ඇති අතර මැලේසියාවේ මැනෙජ්මන්ට් ඇන්ඩ් සයන්ස් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාවේ අංශයක් වන සහජීවනය සහ යහපැවැත්ම යන ක්‍රීඩා කළමනාකරණ පිළිබඳ ආචාර්ය උපාධියද ලබාගෙන ඇත.  


මුලින්ම මේ සම්බන්ධව ඉගෙන ගන්න කාලේ පොත් පත් ටිකක් අඩුයි. පුස්තකාලයේ පවා විෂයට අදාළ පොත්පත් තිබුණෙ ඉතාම අඩුවෙන්. ඒත් ඒ අභියෝග මම ඒ තරම් බැරෑරුම්ව ඇඟට ගත්තේ නැහැ. කොයි තරම් බාධක ආවත් අතාරින්න හිත තිබුණෙත් නැහැ. ක්ෂේත්‍රයේ පරිනත අයගෙනුත් මම ගොඩක් දැනුම ලබාගත්තා.  


මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය මවක්, බිරිඳක් ලෙස ඉතා සාර්ථක ගමනක් ඒමට ශක්තිය වූ ඔහු ඇයගේ ආදරණීය සැමියාද අමතක කළ නොහැක.  


මගේ දරුවෝ තුන්දෙනාම තාම අධ්‍යාපනය හදාරනවා. දුවයි පුතයි දෙන්නම උසස් පෙළ අවසන් කරලා උසස් අධ්‍යාපනයට යොමු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. චූටි පුතා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නවා. සැමියා ගැන කතා කරනවා නම් අද මම මේ තැන ඉන්නේ ඔහුගෙන් ලැබුණ සහය නිසා. ඔහු දැනට පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක් ලෙස සේවය කරනවා. ඔහුත් ක්‍රීඩාවට සම්බන්ධ කෙනෙක්. ක්‍රිකට්, කරාටේ ප්‍රගුණ කරපු කෙනෙක්. ඔහු මගේ ජීවිතේට ක්‍රීඩාව නිසාම මුණගැහුණ ආදරයක්.  


ඇත්තටම, දරුවෝ පුංචි කාලේ මමත් රැකියාව කරන ගමන් අධ්‍යාපන හදාරපු කාලේ ඉතාම දුෂ්කර කාලයක් ගත කළේ. සමහර දවසට පාන්දර 3, 4 නැගිටලා ගෙදර වැඩ කටයුතු කරලා උයලා 5.30 ගෙදරින් යන මම රෑවෙලා එන දවස් තිබුණා. ආචාර්ය උපාධිය කරන කාලේ රෑට නිදාගත්තේ පැය 3 යි. දරුවන්ගේ, සැමියාගේ ගෙදර වැඩ රැකියාවේ වැඩ මේ සියල්ලම කරේ මමමයි. මගේ ගෙදර උදව්වට කෙනෙක් හිටියේ නැහැ. මගේ ගමනට සැමියා කවදාවත් විරෝධතා දක්වලා නැහැ. ගෙදර වැඩවලට ලොකු උදව්වක් නැතත්, මට ඔහු දුන් මානසික නිදහස විශාල සහනයක් වුණා. ආචාර්ය උපාධියට මැලේසියාවෙ යන්න වුණ වෙලාවේ දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ සියල්ලම කළේ සැමියා. මම ඉන්න වෙලාවට සහය නොදුන්නට නැති වෙලාවට ඒ වගකීම් උපරිමයෙන් කරනවා. මට ඒක ලොකු හයියක්. අපි කොච්චර කාර්ය බහුල වුණත් ඉවසීම කළමනාකාරිත්වය තියෙනව නම් මේ ගමන යන්න පහසුයි. ඉවසීම හා කළමනාකාරිත්වය නිසා පිළිවෙළ ආවේ මට ක්‍රීඩාවෙන්මයි.

 

නදීශා අතුකෝරළ