
(අංජුල මහික වීරරත්න)
රටින් ගෙනා මතභේදයට තුඩු දුන් සුදු මැස්සා සහිත මල් තොගය කිසිදු නීතිවිරෝධී හෝ කෘෂිකර්මාන්තයට අහිතකරවන ලෙස පිටතට යැවීමක් සිදුවී නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සම්බන්ධ අදාළ කාරණා ජාතික හා අන්තර්ජාතික නීතිරීතිවලට එකඟවම සිදුවී ඇතැයි ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සහ පරිසර පද්ධතිය විදේශීය පළිබෝධකයින්ගෙන් සහ රෝගකාරකයින්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා ජාතික කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින ජාතික ශාක නිරෝධායන සේවය නිරන්තරයෙන් කැපවී කටයුතු කරයි. කෙසේ වෙතත් විවිධ පුද්ගලයන් සහ පාර්ශවයන් විසින් සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශ සහ පදනම් විරහිතව සිදුකරන ප්‍රසිද්ධ මතවාද සහ දේශන හේතුවෙන් අපගේ ශාක නිරෝධායන සේවය ජාතිකව සහ ජාත්‍යන්තරව අපකීර්තියට පත්විය හැකි බව කණගාටුවෙන් වුවද සඳහන් කළ හැකිය.
මේ වනවිට මෙරටට ආනයනය කරන ලද කැපු නැවුම් මල් තොගවල භයානක පළිබෝධකයින් සිටියදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් නිදහස් කිරීම හේතුවෙන් එම පළිබෝධකයින් රට තුළට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට සාවද්‍ය මතවාදයන් ජනගත කිරීමට උත්සාහ කරමින් සිටී. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙනුත් 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතේ බලධාරියා ලෙසත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මාගේ වගකීමකි.
1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතේ අංක 4,5,6 වැනි වගන්තියන්ට අනුව ආනයනික බඩු තොගයන් පරීක්ෂා කිරීමට මා විසින් නම් කරන ලද ශාක නිරෝධායන බලය ලත් නිලධාරීන්ට බලතල ඇත. තවද අන්තර්ජාතික ශාක ආරක්‍ෂණ සම්මුතිය (IPPC) සහ ISPM - 20 හි සඳහන් ශාක නිරෝධායන ආනයන නියාමන මාර්ගෝපදේශ යටතේ මෙම නිරෝධායන බලධාරීන්ට ආනයන ද්‍රව්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක පියවර ගැනීමට පූර්ණ බලය ඇත. ඒ අනුව ඕනෑම ආනයනය තොගයක් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඒවා භෞතික පරීක්ෂාවට ලක් කිරීම හා අවශ්‍ය නම් විද්‍යාගාර පරීක්ෂණවලට ලක් කෙරේ. මෙම නිරීක්ෂණවලදී කිසිදු පළිබෝධකයකු හෝ රෝග කාරකයන් නැති බවට තහවුරු වුවහොත් එම භාණ්ඩ වහාම නිදහස් කළ හැකිය. යම් හෙයකින් පළිබෝධකයින් නිරීක්ෂණය වූ විට ජාතික හා ජාත්‍යන්තර නීති රීති රෙගුලාසි සහ ප්‍රමිතීන්ට අනුව අනුමත ප්‍රතිකාර ක්‍රම මගින් පළිබෝධකයින් විනාශ කර ඉන්පසු එය තහවුරු කරගෙන එම බඩු තොග නිදහස් කිරීමට අවසර ඇත. තවද කිසිදු ප්‍රතිකාරකයකින් පළිබෝධකයින් ඉවත් කළ නොහැකි අවස්ථාවකදී හෝ අවදානම අධික අවස්ථාවකදී පමණක් දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීම උදෙසා එම භාණ්ඩ මෙරටදී විනාශ කිරීම හෝ ප්‍රතිනැව්ගත කිරීම සිදුකළ හැකිය.
මේ දිනවල සමාජ කතාබහට ලක්වන කැපූ මල් කන්ටේනර් 18ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම මාගේ වගකීමකි. 2026 ජනවාරි 12 දින මෙරටට ආනයනය කරන ලද මතභේදයට තුඩු දුන් මෙම බඩු තොගය ආනයනය කර ඇත්තේ සියලු නීත්‍යානුකූල පියවරයන් අනුගමනය කිරීමෙනි. අදාළ සමාගම විසින් මල් ආනයන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කොට ඒ අනුව ජාතික ශාක නිරෝධායන සේවය මගින් 2026.01.05 දින ලබාදෙන ලද අංක NPQS /FLO/2026/008 දරන මල් ආනයන බලපත්‍රය මගින් 2026.01.12 දින ඉන්දියානු ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් කාඩ්බෝඩ් පෙට්ටි 18ක මල් තොගයක් මේ රටට ආනයනය කර ඇත. එහි Air Bill නම්බර් එක වනුයේ 312 - 96356061වේ.
ඒ අනුව එදින සේවයේ නියුතු බලයලත් නිලධාරීන් ආනයනයට අදාළ ලියකියවිලි පරීක්ෂා කර සෑහීමකට පත්වීමෙන් පසු අදාළ මල් තොගය භෞතික පරීක්ෂාවන්ට ලක් කර ඇත. එම පෙට්ටි 18න් පෙට්ටි 15ක ක්‍රිසැන්තිමම් මල් කිනිති කිනිති 3800ක් තිබූ අතර ඉතිරි පෙට්ටි 3හි වෙනත් විවිධ වර්ගයන්ට අයත් කැපූ මල් තිබුණි. මෙම පෙට්ටි 18න් පෙට්ටි 12ක කිසිදු කෘමි පළිබෝධකයකු හෝ රෝග ලක්ෂණ නිරීක්ෂණය නොවූ නිසා ඒවා නිදහස් කර ඇත. නමුත් ක්‍රිසැන්තිමම් පෙට්ටි 6න් ලබාගත් නියැදි ආරක්ෂාකාරීව ජාතික ශාක නිරෝධායන සේවය වෙත යොමු කර ඇත. එම නියැදි කීට විද්‍යා සහ ව්‍යාධි විද්‍යා අංශවලදී පරීක්ෂණයට ලක් කර NPQS/OP/IMPORT/INT/TS/2026/013/003 දරන පරීක්ෂණ වාර්තාව මගින් නිර්දේශ ලබාදී ඇත. මෙම රසායනාගාර පරීක්‍ෂණයන්ට අනුව ක්‍රිසන්තිමම් මල් වගාවට ආවේණික කෘමි පළිබෝධකයෙකු වන සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථාවන් ද ක්‍රිසැන්තිමම් වගාවේ රෝගයක් වන සුදු මලකඩ රෝග ලක්ෂණ හඳුනාගෙන ඇත. මෙම පළිබෝධකයා සහ රෝගය ශ්‍රී ලංකාවට අදාළව නිරෝධායන පළිබෝධකයින් ලෙස හඳුනාගෙන නැතත් විදේශීය රටක පළිබෝධකයින් වූ නිසාවෙන් අදාළ පෙට්ටි 6 විනාශ කිරීමට නිර්දේශ ලබා දී ඇත.
ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති දහන යන්ත්‍රයක් ආධාරයෙන් 2026.01.30 වන දින පුළුස්සා විනාශ කරන ලදී. ඒ අනුව අදාළ මතභේදයට තුඩු දුන් මෙම මල් තොගය කිසිදු නීතිවිරෝධී හෝ කෘෂිකර්මාන්තයට අහිතකරවන ලෙස පිටතට යැවීමක් සිදුවී නොමැත. අදාළ ජාතික හා අන්තර්ජාතික නීතිරීතිවලට එකඟවම සිදුවී ඇත.
මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ක්‍රමවේදය පිළිබඳව පවතින විශ්වාසය පළුදු විය හැකිය. එමෙන්ම අන්තර්ජාතික මට්ටමින් අප රටේ පවතින ශාක සනීපාරක්ෂක ( Phyto Sanitary and Plant health status ) පිළිබඳව ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට මෙය හේතුවිය හැකි අතර ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට මෙය හේතුවිය හැකි අතර එය අවසානයේ අපගේ අපනයන වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. එබැවින් ජාතික කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාවය උදෙසා කැපවී කටයුතු කරන ශාක නිරෝධායන සේවයේ වෘත්තීය ගරුත්වය කෙරෙහි ගරු කරන ලෙසත් සත්‍ය කරුණු තහවුරු කර නොගෙන ශාක නිරෝධායන සේවයේ කීර්ති නාමයට හානි වන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු නොකරන ලෙසත් සෑම පාර්ශවයකින්ම ඉතා කාරුණිකව සහ වගකීමකින් යුතුව ඉල්ලා සිටිමි. අපගේ නිලධාරීන් ඉටු කරන්නේ ජාතික හා අන්තර්ජාතික වගකීමක් බව සියලු පාර්ශ්වයන් වෙත මෙහිදී සිහිපත් කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් දෙනෙක් ඉන්න පක්ෂයේ අපේ බයි සපෝටර්ලාව සතුටු කරන්න මොන මොනවා හරි බයිලා කියන්නත් එපැයි...