(අංජුල මහික වීරරත්න)

කෘත්‍රිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පසුබිමක එහි සාර්ථකත්වය සම්පුර්ණයෙන්ම රඳා පවතිනුයේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය රාමුවක් මත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය, සදාචාරාත්මක අධීක්ෂණය, නීති, පර්යේෂණ හා සමානාත්මතාව” පිළිබඳ  සැසිවාරයට එක් වෙමිනි.  

පසුගිය 16වන දින ආරම්භ වු 79වන ලෝක සෞඛ්‍ය සමුළුව හෙට (23) දක්වා පැවැත්වෙන අතර සමුළුව සඳහා රටවල් 194ක් නියෝජන්‍ය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු, විවිධ ආයතන නියෝජිතයෝ සහ නිරීක්ෂකයෝ සහභාගී වී සිටිති.

සමුළුවට සමඟාමීව පැවැත්වෙන විශේෂ සැසියක් වු සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) සැසිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය නියාමනය කිරීම සඳහා සුදුසු නීතිමය රාමුවක අවශ්‍යතාවය හඳුනා ගෙන ඇති අතර පුද්ගල දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) හඳුන්වා දෙමින් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

විශේෂයෙන්ම රෝග විනිශ්චය, සායනික තීරණ ගැනීම සහ රෝගී තත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා බලපාන කෘත්‍රිම බුද්ධිය (AI) මෙවලම් වෛද්‍ය උපකරණ ලෙස ලියාපදිංචි කිරීම ඇගයීම, පශ්චාත් වෙළඳපොළ අධීක්ෂණය සඳහා වන යාන්ත්‍රණයක් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඔහු පැවසීය.