(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සැප්තැම්බර් මාසය  වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීමට  මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්  නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය  අනුර  කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රී  රවී කරුණානායක මහතා  වාචික පිළිතුරු අපේක්ෂාවෙන්    ඉදිරිපත් කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

අවසන්වරට  කළ විදුලිය ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම එල්ල වන්නේ  එ්කක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට පමණක් බවද  ඔහු එහිදී  පෙන්වා දුන්නේය. 

සෙසු විදුලි  පාරිභෝගිකයින්ට රුපියල්  කෝටි  1500ක සහනාධාරයක් ආණ්ඩුව   ලබාදී ඇති බව අමාත්‍යවරයා   අවධාරණය කළේය.

අමාත්‍ය  අනුර කරුණාතිලක මහතා මෙසේද  පැවසීය

ඔබතුමා විශේෂයෙන් අහන්නේ, ඩොලරයේ ඉහළයාමත් විශේෂයෙන් මැදපෙරදිග අර්බුදයත් සමඟ ඇතිවුණ තත්වය තුළ තවදුරටත් විදුලි බිල ඉහළ යයිද කියන එක. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කළා, මේ මිල ඉහළ යනකොට මේකේ ඍජු බලපෑම තියෙන්නේ, ඒකක 180ට වඩා වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි.  අනිත් අයගේ බර රජය  බිලියන 15ක් එන් එස් ඔී   එකට දීලා  ඒක දරාගෙන තියෙනවා. සහන දීලා තියෙනවා.

මට ඍජු පිළිතුරක් හැටියට කියන්න පුළුවන්. සැප්තැම්බර් මාසය වනතුරු විදුලිබිල ඉහළ දාන්න අපි මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විදුලි බිල වැඩිවීමක් කරන්නේ නැහැ.

ආණ්ඩුව අයිඑම්එෆ්  එකට බයයි කියන උපකල්පනයේ ඉඳලා තමයි ඔබතුමාලා අද  කතා කරන්නේ. ඒක වැරදියි. අපි බය නෑ.  ඒක අයින් කරගත්තොත් බොහෝ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ගෘහස්ථ සෝලාවල කර්ටේල්මන්ට් එකක් කරන්නේ නැහැ. කරන්න තාක්ෂණ හැකියාවක් ඇත්තේත් නැහැ. සෝලාවල සැපයුම වැඩිවුණහොත් පද්ධති පාලනය කරගැනීමේ ගැටලුවක් එනවා.