(රෝෂන් තුෂාර)

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මගින් අයථා ලෙස පොහොසත්ව මුදල් විශූද්දීකරණ පනත  යටතේ චෝදනා ලබන   සැකකරුවන් කවුරුන්ද? යන්න නම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට (21) නියෝග කළේය.

පර්ප්‍රචුවල් ට්‍රෙසරිස් සමාගම, හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පර්ප්‍රචුවල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන ජෝසප් ඇලෝසියස්, ජෙප්රි ජෝසප් ඇලෝසියස්, කසුන් පලිසේන ,පි.එම්.ගුණවර්ධන ,මුත්තු රාජා සුරේන්ද්‍රන්, චරිත් මදුශංක  යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

සෙසු සැකකරුවන් වන  හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  සහ  ගාර්ධිය පුංචිහේවා  අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට    ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්ප්‍රචුවල් ට්‍රෙසරිස්  සමාගමේ අධ්‍යක්ෂකවරුන් ඇතුළු විත්තිකරුවන් මුදල් විසුද්ධි කරන පනත යටතේ නීති විරෝධීව  මුදල් හා දේපළ අත්පත් කරගෙන ඇද්ද? යන්න පිළිබඳව  කරුණු අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශනය සිදු කෙරේ.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධි කරන පනත යටතේ පොලිසිය මෙතෙක් සිදු කර ඇති විමර්ශන සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් නීතිපතිවරයාට යොමු කිරීමට නීතිපතිවරයා  රහස් පොලිසියට නියෝග කොට ඇති බවය.

නීතිපතිවරයාගේ නියෝගය පරිදි මෙතෙක් සිදුකර ඇති විමර්ශන වාර්තා වලට අදාළ සියලූම උදෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක් සරුක් මහතා කරුණු දක්වමින් සැකකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල  මහාධිකරණ තුනක් හමුවේ මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කොට ඇති බව පැවසීය.

අධි චෝදනා ගොනු කර එම නඩු විභාග වෙමින්  තිබියදී මෙසේ තවදුරටත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉතිරිව නොමැති බවද , නඩු පවරා ඇත්තේ විමර්ශන අවසන් කිරීමෙන්  පසුව බවද පැවසීය.
ඊට පිළිතුරු ලබා දුන් රහස් පොලිසිය කියා සිටියේ මෙම විමර්ශනය අනිසි ලෙස මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ යටතේ සිදු කරන විමර්ශනයක් බවය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන උදෘත වහා නීතිපතිවරයාට යොමු කර විමර්ශන ගොණු යොමු කළ අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

මෙම සැකකරුවන් අතරින් මුදල් විසුද්ධිකරණයට චෝදනා ගොනු කරන්නේ කාටද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය ඔක්තෝබර් 01 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

ඊයේ දින අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන්ට එරෙහි වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීම  කඩිනම් කරන ලෙසද නියෝග කළේය.