(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පසුගිය රජය සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ නැවත විමර්ශනය කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) දැනුම් දෙන ලදී.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.
රජයේ නීතීඥවරයා මේ බව දැනුම් දුන්නේ සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම් හතක් අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදීය.
එම පෙත්සම් විජිත් මළල්ගොඩ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු මහත්ම විනිසුරු මඩුල්ල හමුවේ අද (06) කැඳවිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය අත්සන් කර ඇති එම නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව වත්මන් රජය නැවත විමර්ශනය කිරීමට තීන්දු කර ඇති බවය.
එම නැවත විමර්ශන කටයුතු සඳහා මේවන විටත් කමිටුවක්ද පත් කර තිබෙන බවද රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
එම කරුණු සැලකිල්ලට ගත් ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ලබන ජූලි 13 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතු වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයාගේ නියම කළේය.
මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අට දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් හී වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.සිය පෙත්සම මගින් පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ එම නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවය.
මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව ද ඔවූහු පෙන්වා දෙති.මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම ගිවිසුමේ අඩංගු ප‍්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බව පෙත්සම්කරුවන් කියා සිටිති.
මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප‍්‍රතිපාදන මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
නීතීපති වෙනුවෙන් රජයේ නීතිඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.
පෙත්සම් ලබන ජූලි 13 වැනිදා යළි කැඳවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ලංකාවට කුණු අරන් එන්න ගහපු ගිවිසුම නේද? බලය නැති කොට අහෝසි කරනවයි කිව්වා. ගිවිසුම් ඔක්කොම දැන් විමර්ශනය කරනවලු. අත්සන් කරනවට කියන අලුත්ම නම විමර්ශනය. කිසි විශ්වාසයක් තියන්න බැහැ දේශපාලකයෝ ගැන. නඩුව දිගටම ගෙනියයි කියලා හිතනවා.
ආ ඔය එලියට එන්නේ.... හිටපු ආණ්ඩුව ගෙනාව කුණු ගිවිසුම. මෙයාලටත් ඕනා වෙලා වගෙයි...
දැන් ඉතින් අනිකේ 70 % හොඳයි නේ. මේකේ කීයක් විතර හොඳද දැන් එතකොට ?
බලය ගන්නකන් මොනවා කිව්වත් මේ ආණ්ඩුවත් කරන්නේ පහුගිය ආණ්ඩුව කරපු දේම තමයි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ ආණ්ඩුව බලය ගන්න කිව්ව දේ එක්ක මේ ආණ්ඩුවට ඔය කියපු කිසි දෙයක් කරන්න නොහැකිවීමයි.
ඔය ගිවිසුමට ඉස්සරින් අපරාධකරුවන් හුවමාරු කිරි්මේ ගිවිසුමක් ගහලා මහේන්ද්‍රන් අරගෙන එන්න. නැත්නම් එයා නැතිව හරි නඩු අහලා වරදකරුවන්ට දඬුවම් නියම කරන්න.
රජයේ දේපළ පුද්ගලික අංශයට විකිණීම ""ප්රතිව්යූයහගත කරනවා"" කියලා ටික කලකට පෙර තිබුන රජයකින් කිව්වා වගේ මේ ගොල්ලෝත් ""විමර්ශනය"" කියන වචනය පාවිච්චි කරලා පසුගිය රජය කාලේ ඇතිකළ ගිවිසුම් සියල්ලටම අනුමැතිය දෙනවා.
ගිවිසුම අත්සන් කරලා ඉවරයි. ජාත්‍යන්තර ගිවිසුමක් අපිට ඕනී විධියට නවත්තන්ඩ බෑ. ගිවිසුමට විරුද්ධව ලංකාවේ නඩුවක් තියනවා. ඒක ගැන තමයි ඔය කියන්නේ. මේ කොම්මෙන්ට් කරන අය කියන විධියට කලොත් සිංගප්පූරුව ලංකාවට නඩු දාන්ඩ පුළුවන්. ගිවිසුම අස්සන් කලේ රට එක්ක මිසක් ආණ්ඩු එක්ක නෙමෙයි.