
(විමුක්ති එස් රුද්‍රිගු)
වර්තමානයේ වාහන ඉල්ලුම පහළ ගොස් ඇති බැවින් වාහන මිල ලක්ෂ 3ත් 10අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද ප්‍රකාශ කළේය.
හොන්ඩා වෙසෙල් රථයක් ලක්ෂ 10 කින් පමණ මිල පහළ යනවිට, වැගන් ආර්, යාරිස් සහ ඩයිහට්සු මිරා වැනි ජනතාව අතර ප්‍රසිද්ධ වාහන මාදිලිවල මිල ලක්ෂ 3 සිට 5 දක්වා ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙන බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් වාහන මිලදී ගැනීමට සිටින්නෙකුට ඒ සඳහා සුදුසුම කාලය මෙය බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉල්ලුම හා සැපයුම වාහන කර්මාන්තයටද බලපාන බව ඔහු පෙන්වා දුන්නේය. ඉල්ලුම පහළ යාම හේතුවෙන් ඇතැම් වාහන ආනයනකරුවන් අතින් පාඩුවට වාහන අලෙවි කිරීමට පෙළඹී තිබෙන බවද මෙරෙන්චිගේ මහතා පැවැසුවේය.
වාහන ආනයනය කිරීම සඳහා ලබාගෙන ඇති බැංකු ණය, දින 90 ක් තුළ වාහනය ආනයනය කළයුතු වීම වැනි කරුණු හේතුවෙන් ඇතැම් ආනයනකරුවන් මෙලෙස අතින් පාඩුවට වාහන අලෙවි කිරීමට පෙළඹී ඇති බවත් ජනතාවට මෙම වාසිය ලැබීමට හේතුව මෙය බවත් ඔහු ප්‍රකාශ කළේය.
නැවතත් වාහන වෙළෙඳපොළ ස්ථාවර වුවහොත් ජනතාවට මෙම අවස්ථාව අහිමිවී යා හැකි බවත් ඒ හේතුවෙන් වාහනයක් මිලදී ගැනීමට හොඳම අවස්ථාව මෙය බවත් ඔහු පැවැසුවේය.
ඇතැම් පාර්ශ්ව පාවිච්චි කළ වාහනවලින් රජයට විශාල පාඩුවක් සිදුවන බව ප්‍රකාශ කලත් එය අසත්‍යයක් බවත් රජයට පාඩුවක් සිදුවන්නේ අලුත් වාහන ආනයනකරුවන්ගෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ සෑම අලුත් වාහන ආනයනකරුවෙකුටම තමන් චෝදනා එල්ල නොකලත් සොරකම යන වචනය නීත්‍යානුකූලව හිමි වන්නේ අලුත් වාහන ආනයනකරුවන්ට බවද ඔහු පැවැසුවේය.
ඒ හේතුවෙන් පාවිච්චි කළ වාහන ආනයනකරුවන්ට චෝදනා එල්ල නොකළ යුතු බවත් වැඩිම බදු ප්‍රමාණයක් රජයට ගෙවන්නේ පුද්ගලික වාහන ආනයනකරුවන් බවත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය. අලුත් වාහන ආනයනය කිරීමේදී වට්ටම් නොදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd