(රෝෂන් තුෂාර)

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිත මෙරටින් පිට කිරීමේ මහා ජාවාරමට සෘජුවම සම්බන්ධ වූ බව කියන වාණිජ බැංකු නිලධාරීන්ට නොබෝ දිනකින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද (17) පැවසීය.

අදාල ජාවාරමට දැන දැනම සහාය දක්වා ඇති බැංකු නිලධාරීන් එම සහය දැක්වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 බැගින් සිය බැංකු ගිණුම්වලට මාස්පතා බැර කරවාගෙන ඇති බවත්, ඊට අමතරව අයිෆෝන් ( iphone) වැනි නවීන භාණ්ඩ ජාවාරම්කරුවන්ගෙන් ලබාගෙන ඇති බවත් පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජේෂ්ඨ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ කළු සල්ලි සුදු කිරීමට දායක වීම සම්බන්ධයෙන් මුදල් විසුද්ධි කරන පනත ප්‍රකාරව අධි චෝදනා ගොනු කළද සැකකරුවන්ට එරෙහි අපරාධ චෝදනාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කරන බව පැවසීය.

ව්‍යාජ සමාගම් 89 ක් මෙහෙවමින් කිසිදු භාණ්ඩයක් මේ රටට ආනයනය නොකර ඇමරිකානු ඩොලර් මිලියන 100ක් රටින් පිටකළේ යැයි රිමාන්ඩ් ගතව සිටින මොහොම ජෙෆ්රි, මොහොම මුසාම්මිල් මොහොමඩ් ඉන් පාස් හා වාණිජ බැංකු නිලධාරීන් හතර දෙනකුට එරෙහි  මෙම කරුණු ඉදිරිපත් කළේය.

රජයේ නීතිඥවරයා මෙසේද පැවසීය.

මෙම නඩුවේ ප්‍රධාන සැකකාර මොහොමඩ් ජෙෆ්රි කළු සල්ලි සුදු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් පිට රට පැටලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළා.

එම අධි චෝදනා පත්‍ර අද ඔහුට විවෘත අධිකරණයේදී බාර දුන්නා . ඊට අදාල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 30 වැනි දින ආරම්භ කිරීමට මහාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ වගේම මෙම ජාවාරමට සම්බන්ධ වූ බැංකු නිලධාරින්ට නුදුරේදී අධිචෝදනා ගොනු කිරීමට නියමිතයි. මුදල් විසුද්ධි කරන පනත යටතේ ඔවුන්ට අධි චෝදනා ගොනු කළ ද සෙසු අපරාධමය චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.

මෙම නඩුවේ හය වන සැකකරු, බැංකු නිලධාරීන්ට තුටු පඬුරු ලෙස මාස් පතා ලක්ෂ ගණනින් මුදල් බැර කර ඇති බවට දැනටමත් කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුගියා දා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රබල ගණයේ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු මේ වන විට පොලිසියේ රඳවා ප්‍රශ්න කරනවා . ඔවුන්ගේ කළු සල්ලි සුදු කිරීමට මෙම සැකකරුවන් සෘජුවම දායක වී ඇති බවට සැකකරුවන්ගේ ප්‍රකාශ මගින් සනාථ වුණා යැයිද පැවසීය .

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත්  පතිරණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයන් සිදුකර ඇත්තේ රජයට බදු අහිමි කිරීමත් පමණක් බවය.

රජයේ ආයතන රුපියල් 300ට බදු අය කරන විට තම සේවාදායකයා ශත විසිපහක බද්දක් අය කරගෙන එම වැඩේ කර දී ඇති බවත් , කළ යුතුව ඇත්තේ රජයට අහිමි වූ එම බදු අය කරගැනීම සඳහා රේගු ආඥා පනත යටතේ නඩු පැවරීම බවත් පැවසීය.