(ඩයනා උදයංගනී)

සියලූම විශ්වවිද්‍යාලවල පළමු වසර හැර සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අද (6) සිට හැකියාව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ අනුව කොන්දේසි 11කට යටත්ව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ දිනය තීරණය කිරීම උපකුලපතිවරුන් වෙත පවරා ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි පළමු කොන්දේසිය ලෙස, එක් පීඨයකට එක්වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය හැක්කේ, වසර දෙකක සිසුන් පමණක් වන අතර, අවසන් වසර හා තෙවන වසර ඒ සඳහා යෝග්‍ය බවද මහාචාර්යවරයා පැවසීය.

එමෙන්ම නේවාසිකාගාරවල සිටින සිසුන්ට එක් සිසුවෙක්ට එක් කාමරය බැගින් ලබා දීම අනිවාර්ය වේ.

මේ අතර අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවාස වෙත පිටවිය යුතු අතර විශ්වවිද්‍යාල භූමිය තුළ රාත්‍රී 7න් පසුව කුමන හේතුවක් මත හෝ විවෘතව නොතැබෙන බවද මහාචාර්යවරයා පැවසීය.

ක්‍රීඩා , සමාජ වැඩ හෝ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා මේ අනුව විශ්වවිද්‍යාල සිසුන්ට අවසර නොලැබෙනු බවත්නේවාසිකාගාරවල ඇති පහසුකම් පිළිබඳව මනා සැලකිල්ලක් යොදවා, වරකට විශ්වවිද්‍යාලයට ගෙන්විය යුතු සිසුන් සංඛ්‍යාව තීරණය කළ යුතු බව ද හෙතෙම කීවේය.

විශ්වවිද්‍යාල පළමු වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  පැවසීය.