(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා මෙම ජනවාරි මස 01 වෙනි දින සිට ධූරයෙන් ඉවත් කළ බවට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහත විසින් 2022 01 03 දින අංක 2261/04 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පතකර ඇත.

ඒ අනුව වාරියපොල ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු උප සභාපති අනුර සුදර්ශණ මහතා අද (04) උදෑසන වැඩ බාරගැනීමට නියමිතව ඇත.

එම ගැසට් පත්‍රය මගින් වැඩිදුරටත් කියා සිටින්නේ 1989 අංක 12 දරණ පළාත් සභා (අනුෂංගික විධිවිධාන ) පනතේ දෙවෙනි වගන්තිය සමග කියවිය යුතු 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (2) වගන්තියේ සදහන් විධිවිධාන වලට අනුකූලව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල වලට ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2232/02 හා 2021.06. 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත්කරන ලද අධිකරණ නිලධාරී විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුගේ වාර්තාවට අනුව සභාපතිවරයා ඉහත කී අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් සියලු චෝදනා වලට වරදකරු වන බව තහවුරු වන බැවින් 1989 අංක 12 දරණ පළාත් සභා (අනුෂංගික විධිවිධාන ) පනතේ දෙවෙනි වගන්තිය සමග කියවිය යුතු 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දිසානායක මුදියාන්සේලාගේ තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා සභාපති ධූරයෙන් ඉවත් කරන බවයි.