(සුජිත් හේවාජුලිගේ සහ  රංජිත් රාජපක්ෂ)

වන්දනාකරුවන් රැගත් බස්රථයක් ගිනිගත්හේන නෝර්ටන්බ්‍රිජ් පොලිසියට නුදුරු ප්‍රදේශයකදී අද රාත්‍රී 9.15 ට පමණ අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනකු මියගොස්  26 දෙනකු  තුවාල ලබා ඇතැයි එම පොලිසිය පවසයි.

තුවාලකරුවෝ ගිනිගත්හේන, වටවල සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.

තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මහරගම සිට ගිය වන්දනා නඩයකි.

එම පිරිස ශ්‍රීපාදස්ථානය වන්දනා කර නැවත ගම් බිම් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

යුද හමුදාවේ සහ පොලිසියේ කණ්ඩායම් තුවාලකරුවන් ගොඩට ගෙන ආ අතර කළුවර තත්වය නිසා රෝගීන් ගොඩට ගෙන ඒමට ඔවුනට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නෝර්වුඩ් පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඡායාරූප රංජිත් රාජපක්ෂ