(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වගාව වනසන සුදු මැස්සා සහ පුස් වර්ග අඩංගු මල් සහිත කන්ටේනර් දොළහක් අනුමැතිය ලබාදීමට පෙර නිදහස් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෘෂිකාර්මික ප්‍රදේශ වලට බලපාන හෙළිදරව්වක් කරන්න මම කැමතියි.සුදු මැස්සා උවදුර වගාවන් වලට බරපතල ලෙස බලපානවා.

යුරෝපයට අඹ, කරවිල එළවළු යවන්න ගියොත් ලංකාවේ සුදු මැස්සා ඉන්න නිසා ඒ ඵලදාවන් යුරෝපයෙන් ගන්නේ නැහැ.මේ ප්‍රශ්නය ඇතිවන්නේ රටට ආනයනයය කිරීමේදීයි.ඉකුත් ජනවාරි 12 වැනිදා ලොකු අක්‍රමිකතාවයක් සිදුවුණා.ලංකාවට සමාගමක් විසින් ක්‍රිෂාන්තමන් කියන මල් වර්ගය කන්ටේනර් 18 අරගෙන එනවා.මේ මල්වල ඇස් වලට පේන කෘමීන් ඉන්නා බව අදාළ කන්ටේනර් චෙක් කළ නිලධාරියා මිනිට් එකක් දානවා.

මල්වල සහ පත්‍රවල පුස් බැඳී ඇති බවත් නිලධාරියා සඳහන් කරනවා.තත්ත්වය එසේ තිබියදී කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කන්ටේනර් හයක් තබාගෙන ඉතිරි කන්ටේනර් යවන ලෙස වාචිකව උපදෙස් දෙනවා.අනතුරුව සාම්පල් වල කරන ලද විද්‍යාගාර පරීක්ෂණයේදී මේවායේ සුදු මැස්සා සිටින බව තහවුරු වෙනවා.

වගා විනාශ කළ හැකි පුස් වර්ගයක් එහි තිබෙන බවත් එම මල් කන්ටේනර් විනාශ කරන ලෙසත් උපදෙස් ලැබෙන විට කන්ටේනර් 18න්  12ක් එළියට යවලත් ඉවරයි.මෙවැනි කන්ටේනර් සියයකට වඩා අට වතාවක් මේ සමාගමෙන් ලංකාවට ගෙනවී තිබෙනවා.ලංකාවේ වගාවලට ලෙඩ එන්නේ මේ විදියට තමයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.