(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණියේ පුරප්පාඩු 1,989 ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබූ අතර, ඊට අදාළ ව්‍යුහගත  සම්මුඛ පරීක්ෂණ පළමු අදියර අද (21) කාසල්වීදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) තනතුර සඳහා දැනට පුරප්පාඩු පවතින දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර, ඉහත තනතුර සඳහා අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය වන විට අයදුම්පත් 92,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 2800 ක් අද (21) සහ හෙට (22) මෙම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉහත තනතුරට බඳවා ගැනීමට අදාළව ඉරිදා (24) දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්ක‌යේ දී සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දී ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට ද නියමිතය‍.