(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ මහජන චීන සමුහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අධ්‍යාපනික හුවමාරුව, වෘත්තීය පුහුණුව, ඒකාබද්ධ පර්යේෂණ, ආචාර්ය මණ්ඩල සංවර්ධනය සහ දැනුම බෙදා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර වල ආයතනික සහයෝගීතාව සඳහා ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, මහජන චීන සමුහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය සමඟ සහයෝගීතාවක් ආරම්භ කරනු ලැබ ඇත. එම හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා නීතිපතිගේ අවසරයද ඇතුළත් කරමින් අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ මහජන චීන සමුහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.