(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන් සියයට 58.1 ක් (ලක්ෂ 35.9ක් පමණ) රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන්නේ පවුලේ වගකීම් එසේත් නැතිනම් ගේදොර වැඩ කටයුතු නිසාවෙන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වර්තාවක දැක්වේ.

වැඩ කරන වයසේ සිටින අවුරුදු 25ත් 34ත් අතර රැකියාවක් නොකරන කාන්තාවන් ගෙන් සියයට 87 ක්ද, අවුරුදු 35ත් 54ත් අතර රැකියාවක් නොකරන කාන්තාවන්ගෙන් සියයට 93.6ක්ද, රැකියාවක් නොකිරීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ පවුලේ වගකීම් එසේත් නැතිනම් ගේ දොර වැඩ කටයුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය පෙන්වාදී ඇත්තේ මෙරට කාන්තාවන්ගෙන් විශාල පිරිසක් රැකියාවක් නොකරන්නේ ඔවුන්ට වැඩ කිරීමට අවශ්‍යතාවක් නොමැති නිසා නොවන බවත් කාන්තාවන්ගේ දෛනික ජීවිතයේ විශාල කාලයක් ආහාර පිසීම, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම, දරුවන් බලා ගැනීම, වැඩිහිටි සහ රෝගී පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම ඇතුළු ගේදොර වැඩකටයුතු සඳහා වැය කිරීමට සිදුවීම නිසාවෙන් බවත්ය.

මෙම කටයුතු පවුලේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වුවද ඒ සඳහා සාමාන්‍යයෙන් වැටුපක් නොලැබෙන අතර රැකියාවක් ලෙසද ගණනය නොකෙරෙන බව එම සංවිධානය පෙන්වා දෙයි.