(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළැයි කියන අයකු ඔහුගේ බිරිඳ සමග හොරයින් මත්ද්‍රව්‍යය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හංදියේදී ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

එම සැකකාර යුවළ සමඟ රුපියල් ලක්ෂ 63 ක මුදලක් හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 15055 ක් නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක් , විද්‍යුත් තරාදියක් හා ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රී රෝද රථයකින් මත්ද්‍රව‍ය රැගෙන පුද්ගලයකු පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව ගුවන් තොටුපොල හන්දියේ සිට ගාලු පාර දෙසට පැමිණෙමින් තිබූ තීරෝද රථය නවතා පරික්ෂා කිරීමේදී ඒ පිටුපස කාන්තාවක්ද සිටිනු දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ත්‍රී රෝද රථ රියදුරුගේ රියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමේදී පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇතිවූ හැසිරීම් රටාවේ සැක සහිත භාවය හේතුවෙන් එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හොරයින් මත්ද්‍රව්‍යය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව එහි පිටුපස අසුනේ රැඳී සිටි කාන්තාවක් සන්තකයේ තිබූ සුපිරි වෙළඳ සැලකින් නිකුත් කරන ලද බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මුදල් තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන් අඹුසැමියන් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

​ සැකකාර යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදෙන අය බවට අනාවරණය වූ බව පොලිසිය කියයි ඒ වෙනුවෙන් මාසික වැටුප ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දාසක මුදලක් සළිඳු නැමත්තා ලබාදෙන බවත් සැකකරුගෙන් අනාවරණය වු බව ද පොලිසිය සඳහන් කරයි.