
(විමුක්ති එස් රුද්‍රිගු)
ටික්ටොක් මව් සමාගම වන බයිට්ඩාන්ස්හි සම නිර්මාතෘ 43 හැවිරිදි ෂැන් යීමින් ඉන්දියාවේ ගෞතම් අදානි පසු කරමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත. ඒ අනුව 43 හැවිරිදි චීන ජාතික ෂැන්ග් යීමින්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.5ක් පමණ වන අතර, ගෞතම් අදානිගේ වත්කම ඩොලර් බිලියන 104.8ක් පමණ වේ.
බ්ලූම්බර්ග් නවතම ශ්‍රේණිගත කිරීම පසුගිය 15 වැනිදා නිකුත් කෙරිණි. 2019 වසරේදී ෂැන්ග් යීමින්ගේ වත්කම ඩොලර් බිලියන 13ක් ලෙස ගණනය කර තිබූ අතර, එතැන් සිට යීමින්ගේ ධනය අට ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මෙම මාසයේදී පමණක් ෂැන් යීමින්ගේ වත්කම ඩොලර් බිලියන 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර බයිට් ඩාන්ස් සමාගමේ වටිනාකම ඉහළ යාම එයට හේතුවවී තිබේ.
ටික්ටොක් ඇතුළු ඩිජිටල් වේදිකාවල සාර්ථකත්වය හේතුවෙන් බයිට්ඩාන්ස් සමාගම වේගයෙන් වර්ධනය වී ඇති අතර, එම සමාගම මේ වන විට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ඇත. බ්ලූම්බර්ග් ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ ධනවත්ම පුද්ගලයන් පස්දෙනා අතරට ෂැන් යීමින්, ගෞතම් අදානි, මුකේෂ් අම්බානි, ටඩාශි යනෙයි සහ මසයෝෂි සන් ඇතුළත් වෙති.
ෂැන් යීමින් පසුගිය වසරේදී චීනයේ ධනවත්ම පුද්ගලයා බවටද පත්ව තිබූ අතර, ඔහු 2021 වසරේදී බයිට්ඩාන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වූවේය.
මේ අතර බ්ලූම්බර්ග් ලෝක ධනවතුන්ගේ ශ්‍රේණිගත කිරීමට අනුව ෂැන් යීමින් ලොව ධනවත්ම පුද්ගලයන් අතර 18 වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 105ක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd