(විජේරත්න රත්නායක සහ ඩී.කේ.රත්න)

හාලිඇල දෙමළ මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් පැවැති මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක් යොදාගත් බව කියන දේශකයකු සැකපිට අත් අඩංගුවට ගත් හාලිඇල පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක දේශකයකු බව කියන හලාවත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ වායු රයිෆලය හා වෝකි ටෝකි යන්ත්‍රය ද පොලිස්ර බාරයට ගෙන ඇති අතර සැකකරුගේ ආරක්ෂකයන් බව කියන පුද්ගලයන් තිදෙනෙකුද ඔහු හා පැමිණ ඇත.

මෙම සැකකරුට වායු රයිෆල් හා වෝකි ටෝකි යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර තිබේද යන්න හා පාසල් ළමුන් වෙනුවෙන් පවත්වන දේශනයකට මෙවන් උපකරණ රැගෙන ආවේ මන්දැයි යන්න සැකය මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත හාලිඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.