(අංජුල මහික වීරරත්න)

ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම (NSF) මගින් සංවිධානය කරන ලද "විද්‍යා ප්‍රවර්ධනය උදෙසා වන NSF සම්මාන උළෙල - 2026" (NSF Award Ceremony for Science Popularization 2026)ට   එක්වෙමින් අද (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  අග්‍රාමාත්‍යවරිය   මේ බව සඳහන් කළාය. 

"ආරක්ෂාව සහ ප්‍රත්‍යස්ථතාව සඳහා කෘතිම බුද්ධිය" (AI for Safety and Resilience) යන තේමාවෙන් පැවති මෙම සම්මාන උළෙලේදී විද්‍යාව ජනප්‍රිය කරවීම සහ ප්‍රවර්ධනය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළ පාසල් දරුවන්, ගුරුවරුන්, විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරිණි.

" කෘතිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය කියන්නේ අපි ජීවත් වන, වැඩ කරන, සන්නිවේදනය කරන වගේම අභියෝගවලට මුහුණ දෙන විදිහ සීඝ්‍රයෙන් වෙනස් කරමින් පවතින නව තාක්ෂණයක්. ඒක මානවාදයේ අපි මුහුණ දෙන දැවැන්තම තාක්ෂණික පරිවර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කෘතිම බුද්ධිය වගකීමෙන් යුතුව නිර්මාණය කරලා භාවිත කරද්දී, ආපදා පූර්ව සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කරන්නත්, මහජන ආරක්ෂාව තහවුරු කරන්නත්, අපේ පරිසරය ආරක්ෂා කරන්නත්, තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටත්, වඩාත් සුරක්ෂිත මෙන්ම ඔරොත්තු දෙන සමාජයක් ගොඩනගන්නත් ලොකු දායකත්වයක් ලබාගන්න පුළුවන් වෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.