(ඩයනා උදයංගනී)

ආණුඩුව දරන මතයට වෙනස් මතවාදයක් ඉදිරිපත් කළ පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර ගැටුමක් පවතින බවට කිසිවකුටත් තීරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (3) පැවසීය.

රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වුවත් ආණ්ඩු පක්ෂය පවසන සෑම දෙයක්ම නිවරදි යැයි පිළිගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම නොවන බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයට අදාළව රජය ගත් වැරදි තීන්දුව නිසා අද රටේ ආහාර හිඟයක් පවා ඇති වෙන්න ඉඩ ඇති බවත්, ඉදිරි කන්නයේදී නිවැරදි තීරණ ගැනීම ඉතා වැදගත් බව ද පැවසීය.

වරද පිළිබඳව නැවත නැවත කතා කිරීම නිශ්ඵල කරුණක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී තීන්දුව ආපසු ගන්නවාද යන්න පිළිබඳ ලැජ්ජාවක් තබානොගෙන හරි දේ කළ යුතු බව ද ඇමතිවරයා කීවේය.

ගත් තීන්දුව හේතුවෙන් වගාබිම්වල අස්වැන්න නැති වී ජනතාව වන්දි ඉල්ලමින් සිටින බව ද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් වැඩ අරඹීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්වයෙන් රට මුදාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ද දුමින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම සන්ධානයක් ගොඩ නගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු නොවන බවයි