ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශක ෂෙහ්සාද් පූනාවල්ලා, භාරතීය ජනතා පක්ෂයෙන් ඉවත් විය.

පෞද්ගලික සහ මූල්‍යමය හේතූන් මත තමන් මෙසේ පක්ෂයෙන් ඉල්ලා අස්වන බව පැවසූ පූනාවල්ලා, ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වන බව ෂෙහ්සාද් පූනාවල්ලා පවසා ඇත.

එසේ වුවත්, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ මත ගැටුම් මුල්කොට ගනිමින්, ෂෙහ්සාද් පූනාවල්ලා භාරතීය ජනතා පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බවය.

තමන් ඉල්ලා අස්වුවත්, පුද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවක් කළත්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ පක්ෂයේ දැක්මට නිරන්තරයෙන් සහය දක්වන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ෂෙහ්සාද් පූනාවල්ලා, භාරතීය ජකතා පක්ෂය සමග එක් වූයේ 2017 දීය. ඊට පෙර ඔහු වත්මන් ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයෙක් විය.

වසර පහක කාලයක් තමන්ට භාරතීය ජනතා පක්ෂය තුළ ලබා දුන් අවස්ථාවන් පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන්ට ෂෙහ්සාද් පූනාවල්ලා සිය කෘතඥතාව පළ කර ඇතැයි ද පැවැසෙයි.