(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ  අභියාචනාධිකරණයේ  විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත්  විසි  දෙවැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත  සහ පහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ  යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන  (සංශෝධන) පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  විසින්  පාර්ලිමේන්තුවට  හෙට (18)  පෙරවරැවේ   ඉදිරිපත් කෙරේ.

පනත් කෙටුම්පතක  ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුවේ.  ඉන්පසු ඒ සම්බන්ධයෙන්  ඔනෑම  අයකුට  අධිකරණයට   යෑමට සතියක කාලයක් හිමිවෙයි.  ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එම  පෙත්සම්  විභාග කර දින 03ත්  21ත් අතර  කාලයේදී  සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

දොළොස් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67   දක්වාද  අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස  63 සිට  65 දක්වාද ඉහළ  නැංවෙනු ඇත.

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම  වයස අවුරුදු  62 දක්වා ඉහළ නැංවෙනු ඇත.

මේ අතර මෙම පනත් කෙටුම්පත් දෙක පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කෙරෙන අද දිනයේදී මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් මතු කිරීමට සමගි  ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත

පාර්ලිමේන්තුව හෙට (18)  සිට (21) සිකුරාදා දක්වා රැස්වේ

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක  2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි  අද  (18)  අඟහරුවාදා  පෙ.ව 11.30 සිට ප.ව 5.00  දක්වා  විවාදයට ගැනේ.

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා  ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ)  පනත් කෙටුම්පත  අනතුරුව, ප.ව 5.00 ට දෙවැනිවර  කියවීමෙන්  අනතුරුව  ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට  යොමු කිරීමට නියමිතය.

ඉන්පසු,  විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව  කල්තබන අවස්ථාවේ    යෝජනාව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනේ.

එසේම  මුදල් පනත යටතේ යෝජනා සම්මතය  (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තක‍ය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත)  හෙට (19) බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමට  තීරණය  කර අැත

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා  ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇත.

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනි වර කියවීමේ විවාදය ලබන  (20)  බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව  5.00 දක්වා  පැවැත්වීමට  තීරණයවී ඇත.

අනතුරුව  විපක්ෂය විසින් ගෙනෙනු  ලබන සභාව කල් තැබීමේ යෝජනාව ප.ව 5.00 සිට  ප.ව  5.30 දක්වා  විවාදයට ගැනීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු  ලබන කල් තැබීමේ යෝජනාව  21 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව   5.30 දක්වා  විවාදයට ගැනීමටද මෙහිදී තීරණය  කර අැත.