IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙති

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ.

රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත්තේ, රජයෙන් ඉවත් වීමට ලැබීම කනගාටුවක් බවත්, පවතින වාතාවරණය යටතේ තමන්ට තව දුරටත් තම ධුරයේ රැඳී සිටිය නොහැකි බවත්ය.

‘දක්ෂ සහ ශක්තිමත් මෙන්ම විශ්වාසවන්ත රජයක් ජනතාව අපේක්ෂා කරනවා. ඒත් එවැනි රජයක් පවතිනවා යැයි මට පෙනෙන්නේ නැහැ. මා ධුරයෙන් ඉවත් වෙනවා. මෙය මා අමාත්‍ය ධුරයක් හෙබවූ අවසන් අවස්ථාව වන්න පුළුවනි. සිතට එකඟව මට මගේ ධුරයේ රැඳී සිටින්න බැහැ’ යනුවෙන් ද රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත.

මුදල් අමාත්‍ය රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ් ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කෙරෙහි ඔවුන් තුළ ඇති වුණු අප්‍රසාදය වර්ධනය වීම හේතුවෙන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැහැදිලි කර තිබේ.

‘ඔබ කෙරෙහි මා තැබූ විශ්වාසය නැතිවුණා. ඔබගේ නායකත්වය යටතේ තව දුරටත් වෙනසක් අපේක්ෂා කළත්, එසේ වෙනසක් නොවන බව පැහැදිලියි. ඒ ගැන පවසන්න සිදුවීම කනගාටුවක්. මා ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසයි.’ යැයි සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නායකත්වය දෙන්නේ, කොන්සවර්ටිව් පක්ෂයටය. ‘කොවිඩ්’ වසංගත සමයේ රට ලොක්ඩවුන් කර, ජනතාව නිවෙස්වලට කොටු කර තිබියදී, අග්‍රාමාත්‍ය ජොන්සන්, ඔහුගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් අවස්ථා කීපයකදී රහසේ මධුවිත සාද පැවැත්වීය. උපන් දින සාදයක් ද ඒ අතර විය. සාද පැවැත්වීම සිදුවූයේ අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.‍

අග්‍රාමාත්‍ය ජොන්සන්, සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, ඔහුගේ රජය විසින් පනවනු ලැබූ සෞඛ්‍ය තහංචි උල්ලංඝනය කරමින්, සාද පැවැත්වීම පාර්ලිමේන්තුවට අනාවරණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් පවා ඒ ගැන දැනගත්තේ එම අනාවරණයෙන් පසුවය.

මුලදී විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළත්, සාක්ෂි ඉදිරිපත් වෙද්දී තමන් රහසේ මධුවිත සාද පැවැත්වූ බව අග්‍රාමාත්‍ය ජොන්සන් පිළිගත්තේය. පොලිස් පරීක්ෂණයක් ද ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ජොන්සන් පාර්ලිමේන්තුවෙන් සහ සිය කොන්සවර්ටිව් පක්ෂයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද සමාව ඉල්ලීමක් කළේය. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් දඩ ගෙවීමක් ද කළේය. කොන්සවර්ටිව් පක්ෂය තුළින් අග්‍රාමාත්‍ය ජොන්සන්ට අප්‍රසාදයක් ගොඩ නැගෙන්න වූයේ ඒ අනුවය. එසේ අප්‍රසාදය පළ කළ ජොන්සන්ගේ රජයේ ප්‍රබලයන් දෙදෙකු වන්නේ රිෂී සුනාක් සහ සජීද් ජාවඩ් ය‍.

මීට අමතරව, දූෂණ චෝදනා එල්ල වී ඇති ක්‍රිස් පින්චර් නමැති මන්ත්‍රීවරයාට පසුගිය දා රජයේ තනතුරක් පිරිනැමීමට ද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය. තම ධුරය අවභාවිතයට ලක් කළ ක්‍රිස් පින්චර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ විනය පරීක්ෂණයක් හෝ නොපවත්වා ඔහුට රජයේ ඉහළ තනතුරක් ලබා දීම අනුමත නොකරන බව රිෂී සුනාක් සහ සජීද් ජාවඩ් පවසා තිබේ.

මේ අතර පුරප්පාඩු වුණු මුදල් අමාත්‍ය ධුරයට, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඉරාක කුර්දි සම්භවයක් ඇති නදීම් සවාහී නම් කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය.

මුදල් අමාත්‍ය ධුරය නදීම් සවාහී ලබා දීම සම්බන්ධයෙන් දෙවැනි එලිසබත් මහ රැජිනගේ ද අනුමැතිය හිමිවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණු රිෂී සුනාක්, ඉන්දීය සම්භවයක් ඇත්තෙකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙති

beau Wednesday, 06 July 2022 07:14 AM

ඔන්න කොන්ද තියෙන මිනිස්සු, ඇමැතිවරු. ඒකට අපේ රටේ ඉන්න කැණහිල්ලු... දැන්වත් නැගිටපියව්..!

:       0       0

මැක්ස් Wednesday, 06 July 2022 09:19 AM

බලං ගියාම එහෙත් මෙහේ වගේ තමයි.

:       0       11

kamal Wednesday, 06 July 2022 10:54 AM

මෙ සුද්දො හරිම දුර්වල මිනිස්සු. මොකට ඉල්ල අස්වෙනවද? බල්ලො බිරුවට කදු පාත් වනවයි?

:       6       6

Keppetipola Wednesday, 06 July 2022 12:40 PM

ඔය දෙන්නා අප්‍රිකාවෙන් පන්නපු සරණාගතයින් දෙන්නෙක්...

:       8       1

fairoosWednesday, 06 July 2022 01:43 PM

ඔහොම කියලා කියලා තමයි සිංහලයින්ට නියම නායකයෙක් හම්බවෙලා තියෙන්නේ..රට රකින අපේ විරුවා.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site