(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන්  ඉල්ලා අස්වී ඇත.

ඔහු කාරක සභාවේ  සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි  දැනුම් දී ඇතිහෙයින්  වෙනත් සාමාජිකයෙක් ඉදිරියේදී ඒ සඳහා පත්කරන බව  කාරක සභා සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දුන්නේය.

ඔහු වරාය ඇමැති ධූරයේ සිටියදී මෙම පරීක්ෂණ කටයුත්තට දායක වීම බැඳියාවන් අතර ගැටුමකට පාදක විය හැකි හෙයින් එම සාමාජික ධුරයෙන් මෙසේ ඉවත් වී ඇත.

ඔහු එම ධුරයේ සිටියදී පරීක්ෂණ කිරීම යුක්ති සහගත නැති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා   පෙන්වා දුන් බව මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  පැවසීය.

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් පසුගිය 11 වැනිදා රැස්විය.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.

මේ අවස්ථාවට කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක, මුජිබුර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.