(නිමල කොඩිතුවක්කු)

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා ප්‍රකාශ කළේය.

එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය නැරඹීමේ අවස්ථාව උදාවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීටර් 365 ක උසකින් යුත් කොළඹ නෙළුම් කුලුන නැරඹීම සඳහා දිනකට 1400ත් 2000 ත් අතර පිරිසකට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බවත් ඔහු පැවසීය.

නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකිවන අතර පාසල් දරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර රුපියල් 200 කි.

එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සතියේ දිනවල පස්වරු 2. 00 සිට රාත්‍රි 10.00 දක්වාත් සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් ජනතාවට නෙලුම් කුලුනු නැරඹීමේ අවස්ථාව උදාකර තිබේ.

මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුලුන ආයෝජනයට එක්ව ඇති බවත් බැංකු සහ ව්‍යාපාරික ආයතන රැසක් ඒ අතර වන බවත් ඔහු සඳහන් කළේය.

මේ වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා විවිධ උත්සව සඳහා ඇණවුම් ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නෙලුම් කුලුනේ පැවැත්වෙන සංගීත සංදර්ශන, සැණකෙලි සහ ආහාර ප්‍රදර්ශණ සඳහා ජනතාවට සහභාගී විය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.