(මහේෂ් කිර්තිරත්න)  

මාතලේ පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු  අද (04) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස දුෂණ විමර්ශන කාර්යංශය කියයි.

සැකකරුවන් විසින් මෙම ඉඩමේ කැණිම් සිදු කර ඉඩමේ පිහිටි ගලක් බෝර යොදා කැඩිම සදහා සුදානම් වන අවස්ථාවේදි පොලිසිය විසින් ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ස්ථානයට කපුවෙකු ගෙන්වා විවිධ පුජා පවත්වා නිධානයක් ගැනිමට කාන්තාව ඇතුලු පිරිස කටයුතු යොදා තිබු බවත් මෙම ස්ථානයයේ නිධානයක් ඇති බවට ගිය ප්‍රචාරයක් නිසා මොවුන් මෙම කැණිම් සිදු කර ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මෙම නිධානය ලබා ගැනිම සදහා පුජාව සදහා යොදා ගත් පොල්ගෙඩියක්,දෙහි,විවිධ තෙල් වර්ග,සුර කිහිපයක්,නවගුණ මාලයක්,හදුන්කුරු,කපුරු,පිරිත් නුල්,පිහි,මල්වර්ග ඇතුලු භාණ්ඩ සහ ජංගම දුරකතනද සොයා ගත් බවද පොලිසිය කියයි.

සැකකාරිය සහ අනෙක් සැකකරුවන් බණ්ඩාරවෙල පදිංචි අය බවද පොලිසිය කියයි. සැකකරුවන්  මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.