(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත වීම හේතුවෙන්, වරාය පතුලේ රැඳී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත රැංගුන් නමැති පැරණි නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
එම ඒකකයේ නිලධාරීන් පවසන්නේ ගාල්ල වරායේ ගිලී ගිය නැව් 13ක් ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනකාමක් සහිත ස්ථාන 26ක් පවතින බවයි. මේ අතරින් නැව් 8ක් ස්ථිරවම හඳුනාගෙන ඇති අතර එයින් එක් නැවකට මෙලෙස හානි සිදුව තිබේ.
1863 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද රැංගුන් නමැති නෞකාව 1871 වර්ෂයේ නොවැම්බර් මස 01 දා ගාල්ල වරායේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ අවස්ථාවේ දී මුහුදේ ගිලී ගොස් තිබේ. මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් පවසන්නේ එම නෞකාව අනතුරට පත්ව ඇත්තේ ගාල්ල වරායේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි කදීර් නමින් හඳුන්වන ගල්පරය ආසන්නයේ දී බවය. එය තැපැල් නෞකාවක් ලෙස භාවිතා කළ අතර නැව ගිලෙන අවස්ථාවේ දී ද එහි තැපැල් මළු ඇතුළු වටිනා භාණ්ඩ රැසක් තිබී ඇත.
මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා මෙසේ කීවේය.
"ගාල්ල වරාය පතුලේ ඇති නෞකා පුරාවිද්‍යාත්මක වශයෙන් ආරක්ෂා කළ යුතු නෞකායි. සාමාන්‍යයෙන් නැවක් ගිලී ගිය ස්ථාන ජාත්‍යන්තර මුහුදු සිතියම්වල සළකුණු කරනවා. රැංගුන් නෞකාව අපි මෑතක දී හඳුනාගත් නිසා එය තවමත් ජාත්‍යන්තර මුහුදු සිතියම්වල ලකුණු වෙලා නැහැ. ඒ නිසා එතැනට විදේශයකින් පැමිණි නැවක් නොදැනුවත්ව ම නැංගුරමක් එතැනට දාලා. නැවට හානි සිදුව තිබෙනවා. මේ ගැන දැනගත් වහාම අපි ඔවුන් දැනුවත් කළා. දැනටමත් අපි මේ ස්ථානය ජාත්‍යන්තර මුහුදු සිතියම්වලට ඇතුළත් කිරීමට යවා තිබෙනවා. එය ඇතුළත් කළ පසු මෙවැනි දේවල් සිදුවීමට ඉඩක් නැහැ. ඉදිරි දින කිහිපයේ දී සිදුව ඇති හානිය ගැන සොයා බැලීමට ගවේෂණ කිරීමට නියමිතයි" යැයිද කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුද යට ගිලුණු නැව් අරක්ෂ කරන්න හදනවා ගොඩ බිම තිබෙන පුරාවිධ්යත්මක දේ නාස්ති වෙන්න ඉඩ ඇරලා.
පුරා විද්‍යාත්මක වටිනා කමක් තියෙන දේවල් සුරකින්නේ කාටවත් පෙනෙන්නේ නැතුව තියෙන තැන්වල තියෙද්දී ද වතුර යට තියෙන නැවට හානි වුනා කියලා මේගොල්ලන්ට දැනෙන රුදාව ගොඩබිම තියෙන ඒවාට නැත්තේ මොකද ?
සමුද්‍ර පුරාවස්තු හොයන්නේ ඒ සඳහාම කැපවූ කණ්ඩායමක්. ඔවුන් දැඩි මහන්සියක් දරලා තමයි ඕවා සොයාගන්නේ... ඒ නිසා ඒ සොයාගත්තු දේවල් ආරක්ෂා කරන්නත් ඔවුන් කැපවෙනවා. නමුත් ගොඩබිම තියෙන දේවල් හොයාගත්තු අය දැන් ජීවතුන් අතරත් නැහැ. දැන් ඉන්න එවුන්ට ඒවායේ අගයකුත් නැහැ... ඒකයි වෙලා තියෙන්නේ... අනික් නරකම දේ තමයි මේවා විකුණගෙන කන්න සැදීපැහැදී ඉන්න කට්ටිය. ඕකුන්ට මුහුදු යට කිමිදිලා ඔය ටික ගන්න පුළුවන් නම් ඔය ටිකත් මෙලහට හොරකම් කරලා විකුණලා.