(අංජුල මහික වීරරත්න)

දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. රාජ්‍ය පාලනයේදී ගන්නා සෑම තේරීමක් සහ තිරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ අනුව බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වන සංවත්සර සඳහා පැවැති සමුළුව අමතමින් මේ බව  ප්‍රකාශ කළාය. 

හිත්‍රෝ ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඒ සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර , එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රිචඩ් විල්ඩෑෂ් මහත්වරු  ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු එක්ව සිටියහ.

 අනතුරුව බ්‍රයිටන්හි පිහිටි සසෙක්ස් විශ්වවිද්‍යාලයයේ ප්‍රසිද්ධ රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පාදක කරගනිමින් දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබැඳියාව පිළිබඳව පැහැදිලි කළාය. මහජන අපේක්ෂාවන් ඉටු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කරමින්, රාජ්‍ය පාලනය, ආර්ථික පුනරුත්ථාපනය, සමාජ ආරක්ෂණය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන අභියෝග පිළිබඳව මෙහිදී අවධාරණය කළාය.