
(ඩයනා උදයංගනී)
දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම වැළැක්වීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බවත්, වතු ආශ්‍රිත යම් නිවසක දරුවකු නොමැති බවට ලැබෙන තොරතුරු මත කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවක දීය.
ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ජනාධිපතිවරයා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට හැකි බව ද පෙන්වා දුන්නේය.
පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී සිටින දරුවන් ඉන් මුදා ගැනීම සඳහා ඔවුන් ඊට පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් යෙදිය යුතු බව ද අවධාරණය කළේය.
සේවා ස්ථානයන්හි කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමුකිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීම ආදිය කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. පෙන්වා දුන්නේය.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙහිදී පැවසුවේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් පවතින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් රැකගන්න ඕනෑ. මෙහෙකාර සේවයෙන් විතරක් නොවේ. අර නිල් බලකායේ අයගෙනුත්.. කට්ටියට මතකද මන්දා..? කරපු කියපු දේවල්...
ඉතා කැපවී වැඩ කටයුතු කරන මහාචාර්යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙන්ම ජනපතිතුමාගේ අදහසත් අගය කළ යුතුයි. හැබැයි ඔබතුමා ජනපතිවරණයට පෙර කීවා සේ දුප්පත්කම වැඩිවත්ම ධර්මය තඹ සතයකටවත් මායිම් කිරීමට අලුත් තරුණ පරපුරද නොපෙළඹේ. සමාජ සාධාරණත්වය සහ පීඩිත ජනතාවගේ අවශ්‍යතා පසෙකලා නාගරික මධ්‍යම හා ඉහළ මධ්‍යම පාන්තික අවශ්‍යතා පමණක් ඉටුකිරීමෙන් දුගී දරුවන් දිනෙන් දින අනාරක්ෂිත වන අතර ඔවුන් සමාජ විරෝධීන් වීමද නිතැතින්ම සිදුවිය හැකිය.
ඔබතුමා හරියටම හරි.. ඕනෙම දෙයක් ගමෙන් නතර කරන්න පුළුවන්. ග්‍රාමසේවකට බලතල දෙන්න ජයවේවා..!!!
පස්ස පැත්තෙන් හිනායන කථා කියන්න එපා. පාසල් මට්ටමින්, ගම් මට්ටමින් ළමයි හැදුවාට වැඩක් තියනවද? ජාතික මට්ටමින් මිනීමරුවන්, මහා අපරාධකාරයින් තමුන්නැහේ බේරාගන්න කොට, ඔවුන්ට රටේ ඉහළම තනතුරු දෙනකොට, ඒ අය එක්ක දේශපාලනය කරන කොට.... ඔය කතා වලට අපි රැවටුණු කාලේ ගියා..
ඔව් බාල වයස් දරුවන් රවටාගෙන ඔවුන් දූෂණය කිරීම, ග්‍රාමීය වශයෙන් නාගරික සහ සංඝ ශාසනයටද අදාළ විය යුතුයි .මෙතනදී කිසිම බේදයක් සිදු නොවිය යුතුයි !