කාන්තා ගගනගාමීන් සම්බන්ධයෙන් මින් පෙර තබා තිබූ අභ්‍යවකාශ ගමන් වාර්තාව බිඳ හෙළමින් දින 328ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකළ ඇමෙරිකානු ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් අද (6) පෘථිවියට ළඟාවීමට නියමිතව ඇත.

ඇය සමග යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ලුකා පර්මිටානෝ සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ඇලෙක්සැන්ඩර් ස්ක්වොට්සොව් ද පැමිණෙයි.

ඔවුන් රැගෙන එන යානය කසකස්ථානයේ ස්ටෙප්ස් තෘණ භූමියට පැමිණෙන බව නාසා බලධාරීහු පවසති.

ඇමරිකාවේ මිචිගන්හි උපත ලැබූ 41හැවිරිදි ක්‍රිස්ටිනා කෝච් වෘත්තියෙන් ඉංජිනේරුවරියකි. 

ඇය බිඳ හෙලනු ලැබූයේ 2019 වසරේදී ඇමරිකානු ජාතික පෙගී විට්සන් විසින් දින 289ක් අභ්‍යවකාශයේ ගතකරමින් තැබූ වාර්තාවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රිස්ටිනා සහ නාසාහි සහකාරිය වන ජෙසිකා මේර්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත මෙහෙයුමක් සිදුකළ ප්‍රථම කාන්තා යුගලය බවට පත්වෙමින් වාර්තාවක් ද තැබූහ.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)