(අමදෝරු අමරජීව )

වාන්ඇල, කට්කුලම් ප්‍රදේශයේ වංගු සහිත ස්ථානයක මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකු ඊයේ (01) ට්‍රැක්ටරයක ටේලරයේ ගැටී පිටුපස රෝදයට යටවීමෙන් මියගිය බව වාන්ඇල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, ඉඩිමන් පදිංචි කින්නියා අලිගර් විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු වන සාලිකීන් මොහොම්මදු මව්ජූත් (58) නැමැති අයෙකි.

වංගු සහිත ස්ථානයේ මියගිය අය මිතුරෙකු සමග මාර්ගය අයිනේ කතා කරමින් සිටියදී වාන්ඇල සිට  කින්නියා දෙසට අධික වේගයෙන් ධාවනයවූ ටැක්ටර් ටේලරයේ ගැටී ඇද වැටී ඇති අතර අනතුරුව පිටුපස රෝදයට යට වීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

අනතුරෙන් පසුව ට්‍රැක්ටරය රියදුරු විසින් නොනවත්වා පැදවා ගෙන ගොස් කින්නියා පොලිසියට බාර වී ඇති අතර කින්නියා පොලිසිය විසින් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වාන්ඇල පොලිසියට භාරදීමට කටයුතු කෙරිණි.