(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජාතික කලාභවනේ  පෞරාණික  වටිනාකම් ඇති  සිතුවම් 42 අස්ථානගතවී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය  හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ඔහු මෙසේ  පැවසුවේ  සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර්  රහුමාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

එවකට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ  උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක්  2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති ගැන  සමීක්ෂණ  කිරීමේදී මෙම චිත්‍ර අතුරුදන්වීම පිළිබඳව තොරතුරු අනාවරණයවී  යැයිද  අමාත්‍යවරයා කීවේය

තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවත් කලා භවනේ  දැනට  ඇත්තේ  සිතුවම්  239ක් පමණක් බවද  ඔහු  පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා  කමිටුවක් පත් කර මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා කමිටුව අදාළ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගෙන පරීක්ෂණ කරගෙන යන  බවද සඳහන් කළේය

කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ  විමර්ශන කාර්යාංශයද  වරින් වර විමර්ශන පවත්වා ඇතැයි අමාත්‍යවරයා කීවේය

ජාතික කලා භවන  ප්‍රතිසංස්කරණ සඳහා වසා දමා ඇතැයිද ඔහු  පැවැසීය

මුජිබර් රහුමාන් මහතා;

ජාතික කලා භවන  වහලා තියෙන්නේ 2012 වර්ෂයේදී.  ඒ හා සම්බන්ධව කටයුතු කරන කලාකාරයන් මේ නිසා  ලොකු ගැටලුවකට මුහුණ දී සිටිනවා. එ් අයට කලා නිර්මාණ එළි දක්වන්න ලොකු වියදමක් දරන්න සිද්ධ වෙලා. කොච්චර කාලයක් යාවිද මේක විවෘත කරන්න

බුද්ධ ශාසන ඇමති:

ඔබතුමා අහන ප්‍රශ්නය ඉතා වැදගත්. ඒක මගෙත් ප්‍රශ්නයක්.  මම මැදිහත් වෙලා තියෙන. ප්‍රතිසංස්කරණයට ජෝන්ද සිල්වා රඟහලත් වසා දමලා තියෙනවා. මම කැබිනට් අනුමැතියක් ගත්තා.  ජෝන්ද සිල්වා රඟහල තව ටිකක් ප්‍රමාද වෙන නිසා එතනට වෙන් කරපු මුදල් ටිකක් මේ අවුරුද්දේදී  ජාතික කලා භවනට පවරා ගත්තා.

අපි මේ සම්බන්ධයෙන් සමීක්ෂණ රැස්වීම් ගණනාවක් කළා. මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශකවරුන් කොන්ත්‍රාත්කරුවන් නාවික හමුදාව කැඳවලා රැස්වීම් පැවැත්තුවා. සියලුම දේ ඉදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා.මේ අවුරුද්ද අවසන් වීමට පෙර කලාභවන විවෘත කරගන්න පුළුවන් බව නිලධාරීන්ගේ අදහසයි.

රහුමන් මහතා:

මේ ප්‍රශ්නය ජාතික කෞතුකාගාරය සම්බන්ධව.ජාතික කෞතුකාගාරය අතීතයේ ඉඳලා  සිකුරාදා දිනවල වැහුවා. ඊට පස්සේ  ආණ්ඩු  සිකුරාදා නැවත විවෘත කළා. ඒ වගේම දැන්  හැම සඳුදාම එ්ක වහන්න නිලධාරීන් තීරණය කරලා.

2013 වෙනකම්ම සිකුරාදා දිනයේ වසා තිබුණා. 2012 ආණ්ඩුව ඒක වෙනස් කළා. 2025දී  ඔබලා සඳුදා වහන්න තීන්දුවක් අරගෙන තියෙනවා. ඇයි මේක වෙනස් කරන්න බැරිද. සිකුරාදා වාහන තීන්දුව ගන්න.

ඇමති  සුනිල් සෙනෙවි මහතා:

මේ වෙලාවේ මට ඒ ගැන කෙළින්ම පිළිතුරක් දෙන්න අමාරුයි. ඔබගේ යෝජනාව ගැන මම සාකච්ඡා කරන්නම්. සංචාරකයන්ගේ පැමිණීම මීට සම්බන්ධ වෙලා තියෙනවද. නරඹන්නන්ගේ ඉල්ලීම අනුවද මේක වෙලා තියෙන්නේ කියලා මම හොයලා බලන්නම්. ඊට පස්සේ නුදුරු දිනයක  පිළිතුරක් දෙන්නම්.