(ඩයනා උදයංගනී)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ඊයේ (5) පැමිණ අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට සිය සුභාශිංසන පුද කළේය.

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් අමරපුර මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිවරයා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව ද මහ නා හිමියන් හමුවේ පැවසීය.

මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා සමරු සටහන් පොතේ විශේෂ සටහනක් තබමින් සමරු අත්සනක් ද යෙදීය.

අනතුරුව එම භාවනා මධ්‍යස්ථානයේ ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පල්ලේකන්දේ රතනසාර අනු නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.