(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් රාජධානිය, චීනය සමග වඩාත් සංකීර්ණ හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් පසුගියදා ප්‍රකාශ කළේය.

චීනය යනු ගෝලීය වශයෙන් විශාල වැදගත්කමක් තිබෙන රටක් බවද එක්සත් රාජධානි අගමැතිවරයා පැවැසුවේය.

ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ සමග උපාය මාර්ගික මෙන්ම අඛණ්ඩ හවුල්කාරීත්වයක් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය බලාපොරොත්තු වන බවද ස්ටාර්මර් ප්‍රකාශ කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.

අගමැති ස්ටාර්මර් සහ ෂී ජින්පින් අතර හමුව අද එරට වේලාවෙන් පෙරවරු 11.00 ට පමණ සිදුවිය. එම හමුව පැයකුත් විනාඩි 45 ක් පුරා පැවැත්විණ.

හමුවෙන් පසුව අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රකාශ කර සිටියේ චීනය සහ එක්සත් රාජධානිය අතර තිබෙන හවුල්කාරීත්වය සැමවිටම යහපත් එකක් නොවූවත් දිගුකාලීන සහ ස්ථාවර උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට චීනය සූදානමින් සිටින බවයි. එක්සත් රාජධානිය සමග හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීම වැළැක්විය නොහැකි කරුණක් බවද චීන ජනාධිපතිවරයා පැවැසුවේය.

අධ්‍යාපනයේ සිට සෞඛ්‍ය සේවා, මූල්‍ය, කෘතිම බුද්ධිය සහ නව බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් හමුවේදී සාකච්ඡා කර ඇත. එක්සත් රාජධානි පුරවැසියන්ට වීසා ගාස්තු රහිතව චීනයට ප්‍රවේශය ලබාදීම සඳහාද චීන රජය සළකා බලමින් සිටින බවද චීන ජනාධිපතිවරයා පැවැසුවේය.