(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ   කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතාගේ  වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
විපක්ෂයේ   මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (3)  පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

කුලරත්න මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා අසාධාරණ එකක් බව විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

මේ අවස්ථාවේදී විපක්ෂයේ කවත්  මන්ත්‍රීවරුන් පිරිසක් සිය අසුන් වලින් නැගිට අදහස් දැක්වීමට අවසර ඉල්ලා සිටියද කතානායකවරයාගෙන් ඊට අවසර නොලැබිණ.

චමින්ද කුලරත්න මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදය මෙසේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුම  බණ්ඩාර මහතා:

මේ සභාව පවත්වාගෙන යන්නට ලේකම් මණ්ඩලය ලොකු පිටුවහලක් වෙනවා. ඉතිහාසයේ කවදාවත් ලේකම් මණ්ඩලය සහ  කතානායක අතර ගැටුමක් ඇති වෙලා නැහැ. අපි කතානායකවරුන්  දහ දෙනෙක් එක්ක විතර වැඩ කරලා තියෙනවා. කීර්තිමත් කතානායකවරුන්  මෙතන ඉඳලා තියෙනවා. ලේකම් මණ්ඩලය සමග හොඳට වැඩ කරගෙන ගියා. අද ලේකම්වරයෙක් අස් කරල තියෙනවා. ඒ ලේකම්වරයා කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ගොනු කරලා . ඉතිහාසයේ කවදාවත් මේ වගේ තත්වයක් සිද්ධ වෙලා නෑ. 

මේක බොහොම නරක තත්වයක්.  මේකද ඔබතුමාලගේ සිස්ටම් චේන්ජ්  එක. කොහොමද මේ පාර්ලිමේන්තු ක්‍රමය ගෙනියන්නේ. ඔබතුමා තමයි කාර්ය මණ්ඩල උපදේශක සභාවට පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබතුමාම තමයි ඒ පරීක්ෂණ පවත්වන ප්‍රධානියා පත් කළේ. මෙතන වෙන්නේ මොකක්ද කතානායකතුමනි. ඉතාම භයානක තත්වයක්. පාර්ලිමේන්තුවේ තිබුණ ගෞරවය නැති කරගෙන යනවා. නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඒ ලේකම්වරයාට අවස්ථාව දීල නැහැ. පාර්ලිමේන්තුවේ පැවැත්මට මේක ලොකු ප්‍රශ්නයක්. කතානායකතුමාගේ තීන්දුව  ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉවසීමෙන් කටයුතු කරනවා. ඔබතුමා විපක්ෂයට අවස්ථාව දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න එපා. මහලේකම්තුමියටත් මොකක්ද විභාගයක් ගේන්න යනවා කියලා ආරංචියි.   සිද්ධිය  ගැන ස්වාධීන කමිටුවක් පත් කරලා  පාර්ලිමේන්තු ක්‍රමය හරියට ගෙනියන්න.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  නලින්ද ජයතිස්ස මහතා:

පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කතානායකවරයාට වගේම ලේකම් මණ්ඩලයටත් වගකීමක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ආවම කටයුතු කරන්න තියෙන ආයතනය තමයි කාර්ය මණ්ඩල උපදේශක සභාව. විපක්ෂයේ මන්ත්‍රීවරුත්  ඒ උපදේශක සභාව  නියෝජනය කරනවා. ඒ කමිටුව තමයි මේ තීන්දුව ගත්තේ.