(සුජිත් හේවාජුලිගේ)

වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද  කුලරත්න මහතා කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (2) පස්වරුවේ   පැමිණිල්ලක් කළේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයකුට එරෙහිව  නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු මෙවැනි දුෂණ චෝදනා පැමිණිල්ලක් යොමු කරන  මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි

කුලරත්න මහතා කතානායකවරයාට එරෙහිව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කළේය.

වාහන අවභාවිතය, නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම,  පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය  සතු උපකරණ අවභාවිතය, නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම  සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම, නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම  සහ  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම  ඔහු එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනාවේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා එම ධූරය බාර ගත් දින සිට මේ දක්වා කර ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ සාධාරණ හා  අපක්ෂපාතී පරීක්‍ෂණයක්  කර නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස චමින්ද කුලරත්න මහතා එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම මෙම තොරතුරු හෙළිදරව් කිරීමෙන් තමාට එල්ල විය  හැකි තර්ජන හෝ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ තොරතුරු හෙළි කරන්නන් වෙත ලබාදෙන රැකවරණය ලබාදීමට කටයුතු කරන ලෙසද  ඔහු අල්ලස් කොමිසමින් ඉල්ලීමක් කර ඇත.

චමින්ද කුලරත්න මහතා මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  රංග දිසානායක සහ තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති දයා ලංකපුර යන මහත්වරුන්ටද  යොමු කර ඇත.