(ඩයනා උදයංගනී)

රට තුළ ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූයේ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ නිලධාරීන් හරියට වැඩ නොකළ නිසා යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ගෑස් හිඟයක් ඇතිවූයේ ඔවුන් නිසා බව කී ඇමතිවරයා වගකීම් භාර ගත් අය ඒවා නිසිලෙස ඉටුකළ යුතු බව ද පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි මහාමාර්ග අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (3) පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල ඊයේ ඇති වී තිබුණු වාහන තදබදය ආදී ගැටලුවට අමාත්‍යාංශයක් ලෙස විසදුම් සෙවිය යුතු බව කී ඇමතිවරයා අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උන්නතිය වෙනුවෙන් රැඩිකල් තීන්දු තීරණ පවා ගැනීමට සිදුවන බව කීවේය.

එසේ තීන්දු තීරණ නොගතහොත් එක තැන පල්වන්නට සිදුවන බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.