(යොහාන් භාසුර)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාකිරීමට බලාපොරොත්තු වන සැදෑවතුන්ගේ පහසුව සඳහා අනිද්දා (5) සිට 10 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පැවසීය.

දෛනිකව ධාවනය කරන දුම්රියට අමතරව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වා එම දුම්රිය ධාවනය කරන බවත් එම දුම්රිය අදාල දුම්රිය ස්ථානවලින් පෙරවරුවේ පිටත්ව කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් පස්වරුවේ පිටත්වන බවත් සමරසිංහ මහතා කීය.

අවිස්සාවේල්ලෙන් පෙරවරු 7.15 ට, රඹුක්කනින් පෙරවරු 6.30 ට සහ අලුත්ගමින් පෙරවරු 7.10 ට එම දුම්රිය පිටත්වන බව කී දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා අවිස්සාවේල්ල සහ රඹුක්කන දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 1.00 ට ද, අලුත්ගම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.00 ට පිටත.්වීමට නියමිත බව ද සඳහන් කළේය.