(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ ඥාතීයකු වන මැණික් ව්‍යාපාරිකයකු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතා  අද නියම කළේය.

සැකකරුට ඇප නියම කරනු ලැබුවහොත් තවමත් අවසන් කර නොමැති විමර්ශන කටයුතු වලට බාධා විය හැකි බව කියමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඞ් බාරයට පත් කළ මහෙස්ත‍්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප‍්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි මැණීක් ව්‍යාපාරිකයකු බව කියන සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නමැත්තෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළහ.