(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස,ටෙම්පල් පාර හුළුදාගොඩ පටු මගේ ගරාජයක් තුළදී පසුගිය 15 වැනි දින රාත්‍රී, පුද්ගලයකුගේ මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත් ඝාතන කල්ලියට සම්බන්ධ බව කියන කාන්තාවක ඇතුළු සිව් දෙනකු අද අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් වූවන් අතර එම ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ ආධාර අනුබලදුන් කාන්තාවක් සහ තවත් පුද්ගලයකු වන බව පොලිසියය කියයි.

ඝාතනයට යොදාගත් බව කියන 3 . 8 වර්ගයේ රිවොල්වර වර්ගයේ ගිනි අවිය සහ ජීව උන්ඩ 20 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකටඅනුව කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනකු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීත් සැකකරු වත්තල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම ඝාතනය සඳහා කුලී වෙඩික්කරු සහ පැදිකරු වෙත ලක්‍ෂ පහක පමණ මුදලක් ලබාදී ඇති බවත් ආධාර අනුබලදුන් කාන්තාවට සහ අනෙක් පුද්ගලයා වෙත අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව තිබුණේ රාගම කැන්දලියද්ද පාළුව පදිංචිව සිටි එස්. වයි. වාමන් බමුණු ආරච්චි (40) යන පුද්ගලයායි.