(ටී.කේ.ජී.කපිල)

ප්‍රංශයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් කර එවා තිබූ මත්පෙති තොගයක් බාරගැනීමට පැමිණි කාන්තාවක් සමග  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

එම පාර්සලයේ රුපියල් 20,240,000ක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති මත් පෙති 4,048 ක් සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගැනිණි.

කොළඹ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකගේ නමට මෙම පාර්සලය එවා තිබූ අතර, ඇය එය බාරගැනීමට පැමිණෙන තෙක් බලා සිට රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පාර්සලය තුළ රෙදිවලින් නිෂ්පාදිත අකුලා, නැවිය හැකි පාවහන් අසුරණයක් තුළ, මෙම මත් පෙති තොගය සගවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා අඩංගු පාර්සලය බාරගැනීමට පැමිණි කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු  සඳහා රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත බාර දී තිබේ.