(ඩයනා උදයංගනී)
උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සළකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී තිබේ.
සිසුන් 100ක සීමාව තුළ පන්ති පවත්වා උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීම අසීරු බව පවසමින් උපකාරක පන්ති දේශකවරුන් කර ඇති ඉල්ලීම් සළකා බලා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පක්‍ෂ නායකවරයෙක් සහභාගී වන දේශපාලන රැස්වීමකට දුරස්ථභාවය ආරක්ෂා කරගෙන 500ක් සහභාග කරවාගත හැකි අයුරින් සෞඛ්‍ය විධිවිධානවලට යටත්ව උපකාරක පන්ති සඳහා ද වැඩි සිසුන් ප්‍රමාණයක් සහභාගී කරවාගත හැකි දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
එමෙන්ම අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්විය හැකි නිශ්චිත දින වකවානු හා විභාගය පැවැත්වෙන ආකාරය ඉක්මණින් නියම කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
විභාගයට අදාළ විවිධ පාර්ශව සමඟ පළාත් හා දිස්ත්‍රික්ක මටට්මින් සාකච්ඡා කර ගුරුවරුන්, සිසුන් හා අධ්‍යාපනඥයින් සමඟත් සාකච්ඡා කර නිශ්චිත දින ඉක්මනින් ලබාදෙන බව මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව ද ගුණවර්ධන මහතා පැවසීය.
සිනමාශාලා ජූලි 2 සිට විවෘත කිරීමේදී ද දැනට නිර්දේශ කර ඇති ආසන සංඛ්‍යාවෙන් 50 කට වඩා ශාලාවකට ඇතුල් කරගත හැකිද යන්න ගැන සාකච්ඡාවක් ද විෂය භාර ඇමැති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා සිනමා ශිල්පීන් අතර හෙට (26) පැවැත්වෙන බව ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒක හොඳ වැඩක්... මොකද මේ දවස්වල ටියුෂන් මාස්ටර්ලා ක්ලාස්වල උගන්වන්නේ නැතිව. අසරණ දෙමව්පියන්ගෙන් මුදල් හම්බකරනවා. ඔන්ලයින් එන්න කියලා එයාගේ නිබන්ධන ගන්න කියලා මුළු මාසික ගාස්තුව අයකරනවා.... හරිම අසාධාරණ විදිහට... එක්කෝ 50% ක් ගත්තා නම් සාධාරණයි. මේ දවස්වල මිනිසුන්ට වැටුප් ලැබෙන්නේ 50% ... හැමතැනම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් නරකද මේ ටියුෂන් ගුරුවරු...?
නිදහස් අධ්‍යාපනය ගොඩගන්න නම් මේ මුදලට කරන ටියුෂන් පන්ති තහනම් කළ යුතුය.
ඔය කොච්චර නීති දැම්මත් නීතිය කොළවල තියෙයි. වැඩ කෙරෙයි ටියුෂන් පන්ති අධිකරණයට ඕනෑ විදිහට... ඒක තමයි තිත්ත ඇත්ත.
ටියුෂන් රටේ සිසුන්ට සහ දෙමව්පියන්ට වින කරන දෙයක්. වැඩි වශයෙන්ම ලංකාවේ ටියුෂන් ඇතිවීමට හේතුව නම් තෘතීය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇති සීමිත ඉඩ කඩයි. කළයුත්තේ පුද්ගලික අංශය සමග එකතු වී තෘතීය අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමයි. එවැනි ආයතනවලින් සිසුන්ට දේශීයව හෝ විදේශීයව රැකියා කළහැකි වන අධ්‍යාපනයක් ලබාදිය යුතුයි...