(විමුක්ති එස් රුද්‍රිගු)

යුද්ධයකට නොගොස් ගිවිසුමකට එළැඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය, ඇමෙරිකාව සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කර ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

එසේම ඉරාන බලධාරීන්ද පසුගියදා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.

මැද පෙරදිග සහ ගල්ෆ් කලාපයේ බලවතුන් යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා රාජ තාන්ත්‍රිකව දෙපාර්ශ්වයටම පීඩනයක් එල්ල කිරීම මෙලෙස ඇමෙරිකාව සහ ඉරානය ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා මේසයට පැමිණීමට හේතු වී ඇතැයි පැවැසෙයි.

ගිවිසුමකට පැමිණීමට නම් ඉරානය න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බවත් ඉරානය න්‍යෂ්ටික අවි අත් හැරීමට කැමැතිවේ දැයි තමන් නොදන්නා බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඉරානය ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බවත් ඉරානය දැඩි වුවමනාවෙන් ඇමෙරිකාව සමග අදහස් හුවමාරු කර ගන්නා බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

ප්‍රබල ප්‍රහාරක යුද නෞකා මැද පෙරදිග කලාපයට සේන්දු වී සිටින බවත් ඉරානය ඇමෙරිකාව සමග ගිවිසුමකට එළැඹෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.